හිටපු මන්ත්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට හේතුව මෙන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා අත්අඩංගුවට ගෙන තිබේ.
2011 වසරේ වවුනියාවේදී සිදුවූ රිය අනතුරක සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙසේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2011 ජූලි 30 වන දින වවුනියාව සෙට්ටිකුලම් රෝහල අසල දී සිදු වූ අනතුරක දී මියගිය පොලිස් සැරයන්වරයෙකුගේ මරණය සම්බන්ධයෙන් වවුනියාව මහාධිකරණයේ විභාග වන නඩුවක සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සහ බිය ගැන්වීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළේය.
අදාළ අනතුරේ දී ශ්‍රී රංගා මන්ත්‍රීවරයා රැඳී සිටි වාහනය පාර අයිනේ ගසක මුහුණට මුහුණ ගැටීමෙන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයා වූ පොලිස් සැරයන්වරයා මිය ගියේය. අනතුරින් පසු හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබාදී තිබුණේ වාහනය පදවා ඇත්තේ පොලිස් සැරයන්වරයා බවයි. කෙසේ වෙතත් පසුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූයේ එම රථය පදවා ඇත්තේ මන්ත්‍රීවරයා බවයි.
නඩුවට අදාළව සාක්ෂි ලබාදුන් දෙදෙනෙකුට හිටපු මන්ත්‍රීවරයා දුරකථන ඇමතුම් ලබාදී බලපෑම් කිරීමට උත්සාහ කළ බවටයි අනාවරණ වුණේ.
ඒ අනුව හිටපු මන්ත්‍රීවරයා අද දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.