සමගි ජන බලවේග උද්ඝෝෂණයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

සමගි ජන බලවේගය අද විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ.
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කර නියමිත පරිදි පළාත් පාලන ඡන්දය පවත්වන්නැයි ආණ්ඩුවට බල කරමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති අතර, මේ වන විට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ දී සමගි ජන බලවේගයේ විරෝධතාවයේ පැමිණි පිරිසට. ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
මේ මොහොත වනවිට ටෙක්නිකල් මංසන්ධිය ආසන්නයේ දැඩි වර්ෂාවක් ඇද හැලුනත් සමගි ජන බලවේග නියෝජනය කරන පාක්ෂිකයින් විශාල ප්‍රමාණයක් පොලීසිය සමග උණුසුම් වචන හුවමාරුවක් සිදු කරමින් සිටින බව කියැවේ.
දිවයිනේ නන් දෙසින් පැමිණි සමගි ජන බලවේග පාක්ෂිකයින් විවිධ සටන් පාඨ සහ රටේ වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වමින් ඉදිරියට යාම සඳහා අවසර ඉල්ලා සිටියි.
ජල ප්‍රහාරක යන්ත්‍ර දෙකක් තවමත් ස්ථානගත කර තිබෙන නමුත් පාක්ෂිකයින් පැමිණි පිරිසඉදිරියට යන්නට උත්සාහ කරන ආකාරයක් දකින්නට තිබේ. පොලිසිය එය ව්‍යර්ථ කරමින් සිටියි.
අද මෙම විරෝධතා පාගමන වැලැක්වීම සඳහා අධිකරණයෙන් කොළඹ මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වමින් අධිකරණ නියෝග ලබාගෙන තිබූ නමුත් පිරිස මේ මොහොතේ ටෙක්නිකල් මංසන්ධිය ආසන්නයේ රැඳී සිටියි. කිසියම් පිරිසක් මෙම ස්ථානයෙන් ඉදිරියට යන්නට උත්සාහ කරයි.
සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුත් මේ ස්ථානයේ රැඳී සිටින බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ මෙම විරෝධතා පෙළපාලිය හේතුවෙන් මාර්ග අවහිරතා ඇතිව තිබෙන බැවින් විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කරන බවය.