මැතිවරණයට බාධා කරන සියළු උත්සාහයන් පැරදවිය යුතුයි..!

මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ පවතින තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
මැතිවරණ ක්‍රියාවලියට බාධා කිරීමේ සියලු උත්සාහයන් පරාජය කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ 2023 මාර්තු 19 වන දිනට පෙර පැවැත්වීමට නීතිය නියම කර ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩාකප්පල් කිරීමට රාජ්‍ය බලධාරීන් විසින් මෑතකදී ගත් උත්සාහයන් පිළිබඳව තමන් දැඩි පළ කරන බවය.
සියලුම මැතිවරණ ඉතා වැදගත් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.
රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම අරමුණු කරගත් බව පවසමින් රජය මෑත සතිවල ගත් තීරණ කිහිපයක් මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්වීම වැළැක්වීමේ බලපෑමක් ඇතිකර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහසයි.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පෙර මුදල් නිදහස් කරන ලෙස රජයේ මුද්‍රණාලය විසින් කරන ලද ඉල්ලීම සහ මැතිවරණය සඳහා මුදල් නොමැති බව පවසමින්, භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කරන ලද ඉල්ලීම ද, ඊට ඇතුලත් බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
මැතිවරණ කටයුතු සඳහා අයවැයෙන් රුපියල් බිලියන 10 ක් වෙන් කර තිබියදී පසුගිය සති කිහිපය තුළ භාණ්ඩාගාර ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපති ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ආයතනවල ක්‍රියාකලාපය මැතිවරණය නතර කිරීමට දැඩි උත්සාහයක් ගත් ආකාරය පැහැදිලිවම පෙන්නුම් කරන බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහසයි.
රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට බලපාන, නීතියෙන් නියම කර ඇති මැතිවරණ පැවැත්වීම වැළැක්වීමේ මෙවැනි උත්සාහයන් නොවූ විරූ බව ශ්‍රී ලංකා නීති සංගමය පවසයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනතුරු අඟවන්නේ එවැනි ක්‍රියා ජනප්‍රිය නොවන විධායකයකට හෝ ව්‍යවස්ථාදායකයකට භයානක පූර්වාදර්ශ සැපයිය හැකි බවය.
ශ්‍රී ලංකා නීති සංගමය තවදුරටත් අනතුරු අඟවන්නේ ඡන්ද බලයට බාධා කිරීමේ ඕනෑම පියවරක් දුරදිග යන ප්‍රතිවිපාක ගෙන දෙන්නක් බවය.
ජනතාවගේ ඡන්ද බලයට බාධා කිරීමට වසර ගණනාවක් පුරා විවිධ පාලන ආයතන විසින් දරන ලද උත්සාහයන් රටට සහ එහි ජනතාවට විනාශකාරී බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.
රටේ අත්‍යවශ්‍ය කටයුත්තක් වන මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් ලබාදීම සහතික කිරීම රජයේ පාරිශුද්ධ යුතුකමක් බවත් තවදුරටත් ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ හෝ බාධා කිරීමේ කිසිදු උත්සාහයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කරන ලෙසත් නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වග බලා ගන්නා ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් සහ සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.