නීතිමය පියවර ගැනීමට පෙර පුංචි ඡන්දයට මුදල් දෙන්න!

 නීතිමය පියවර ගැනීමට පෙර පුංචි ඡන්දයට මුදල් දෙන්න!

මාර්තු 9 වෙනිදා වන විට පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි තැනට වැඩ කටයුතු සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සිදු කරන ප්‍රකාශවලින් පැහැදිලි වේ.

එවන් තත්ත්වයක් තුළ පළාත් පාලන මැතිවරණය සඳහා ඉතා ඉක්මණින් අරමුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යොමු නොවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් සූදානම් බව විපක්ෂ කණ්ඩායම් කිහිපයක් ම අනතුරු අඟවා තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඒකාබද්ධ ලිපියක් යවන එක්සත් ජනතා නිදහස් සන්ධානය, උත්තර ලංකා සභාගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජන ජය පෙරමුණ, නිදහස් ජනතා පෙරමුණ සහ ශ්‍රි ලංකා මහජන පක්ෂය ලේකම්වරයා වෙත දන්වා ඇත්තේ ඔහු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 වෙනි ව්‍යවස්ථාව කඩ කොට ඇති බව ය.

“මුදල් අමාත්‍යාංශය විසින් තමන් වෙත අරමුදල් වෙන් කොට නොමැති බැවින් 2023 මාර්තු 09 වෙනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අප වෙත දන්වා තිබේ. ඉන් අපට හැඟීයන්නේ ආණ්ඩුවට සම්බන්ධ සියළුම දෙනා හිතාමතාම මැතිවරණය කල් දැමීම සඳහා ක්‍රියා කරගෙන යන ආකාරයකි.

“පළාත් පාලන මැතිවරණ සඳහා අරමුදල් වෙන්කිරීම සඳහා 104 වන ව්‍යවස්ථාවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ඔබ විසින් උල්ලංඝනය කර තිබේ. එමෙන්ම කල් දැමිය නොහැකි කටයුතු සඳහා අරමුදල් වෙන් කළ යුතුය යි 02/2023 චක්‍රලේඛ අංක 3 මගින් ඔබ වෙත දැනුම් දී තිබේ. එසේ හෙයින්, අප ඔබෙන් ඉල්ලා සිටින්නේ තත්ත්වය සළකා බලා පළාත් පාලන මැතිවරණයට අදාළ අරමුදල් සම්පාදන කටයුතු සකස් කරන ලෙසය. ඔබ ඒ සඳහා අසමත් වුවහොත් ඔබට එරෙහිව නීතිමය කටයුතු සඳහා යොමුවීමට සිදුවනු ඇත,” යනුවෙන් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ ලිපියට පහත සඳහන් අය අත්සන් තබා තිබේ.

  • එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල
  • නිදහස ජනතා සභාවේ කැඳවුම්කරු ජී.එල්. පීරිස්
  • නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම
  • උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර
  • ජනජය පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා
  • නිදහස් ජනතා පෙරමුණේ නායක නාලක ගොඩහේවා

Newspedia 01

Related post