මහේස්ත්‍රාත්ගේ කාරය ඉස්සූ සැකකරු අල්ලයි!

 මහේස්ත්‍රාත්ගේ කාරය ඉස්සූ සැකකරු අල්ලයි!

කුලියාපිටිය අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතාගේ සුඛෝපභෝගී රථය සොරාගත් බවට සැකකෙරෙන පුද්ගලයා වත්තල, ඔලියමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සොරකම් කරන ලද රු. මිලියන 6 ක් පමණ වටිනා මහේස්ත්‍රාත්වරයාගේ කාරය පොලීසිය භාරයට ගෙන තිබේ.

මඩපාත ප්‍රදේශයේ පිහිටි අගුළු දමා වසා දමන ලද මහේස්ත්‍රාත්වරයාගේ දෙමහල් නිවසේ නවතා තිබූ ඔහුගේ නිල රථය සොරාගැනීමෙන් අනතුරුව පොලීසිය ඒ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කළේය.

කොල්ලකෑම සම්බන්ධ විමර්ශණ අතරතුර, සැකකරු විසින් මහේස්ත්‍රාත්වරයාට දුරකතනයෙන් අමතා කාරය සහ ඊට අදාළ ලියකියවිලි නැවත භාර දීම සඳහා රු. ලක්ෂ 5 ක මුදලක් ඉල්ලා තිබේ.

සැකකරු විසින් මහේස්ත්‍රාත්වරයා ඇමතූ ජංගම දුරකතන අංකය ඔස්සේ විමර්ශණය සිදු කළ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයෙකු ලෙස පෙනී සිටි පොලිස් නිලධාරියෙකු සැකකරුට දුරකථනයෙන් අමතා මහේස්ත්‍රාත්වරයා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවත් මෝටර් රථය ආපසු ලබාගැනීම සඳහා මුදල් ගෙවන බවත් සැකකරුට පවසා ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව, 27 හැවිරිදි සැකකරු වත්තල ප්‍රදේශයට රැගෙන ඒමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

හෝමාගම පිහිටි සැකකරුගේ නිවසේ සිදුකළ සෝදිසියක දී ව්‍යාජ පිස්තෝල දෙකක්, පිහි හතරක්, විෂ ද්‍රාවණයක් අඩංගු බෝතලයක් සහ මිරිස් කුඩු පිරවූ බෑගයක් ද, පොලීසිය භාරයට ගෙන තිබේ.

Newspedia 01

Related post