මම ගන්නෙ ජනප්‍රිය තීරණ නෙවෙයි. මේවයෙ වැදගත්කම අවු. 2-3කින් තේරේවි!

අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ සෘජු බදු ප්‍රමාණය අඩු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යහපත් අනාගතයක් උදෙසා තවත් මාස කිහිපයක් ඉවසන ලෙස ද, අද (08) පාර්ලිමේන්තුවේ නව වාරය ආරම්භ කරමින් රාජාසන කතාව සිදුකළ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
“නව බදු ප්‍රතිපත්ති හඳුන්වාදීම දේශපාලනික වශයෙන් ජනප්‍රිය නොවන තීරණයක්. මතක තියාගන්න මම ආවේ ජනප්‍රිය වෙන්න නෙවෙයි. මට අවශ්‍ය මේ රට වැටී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් යළි ගොඩනැංවීමටයි. ඔව්, ජාතිය වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්න මම සූදානම්. ඒ තීරණවල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් ජනතාව තේරුම් ගනීවි.”
තම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මෙය කැමැත්තෙන් බදු පැනවූවක් නොවන බවය. නමුත් අකමැත්තෙන් වුවද නිවැරදි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
“උපයන විට ගෙවීමේ බද්ද (Payee Tax) අයින් කළොත් රටට බිලියන 100 ක් පාඩුයි. බදු සීමාව රු. ලක්ෂ 2 ක් කළාම තව අමතර රු. බි. 63 ක් එනවා. එතකොට අහිමි වන මුදල රු. බි. 163 ක්. අපිට මේ ආදායම නැති කරගන්න පුළුවන් තැනක දැන් නෑ”
අද පාර්ලිමේන්තුවේදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ සාමාන්‍ය ජනතාව මත පැටවී ඇති බර අවම කිරීම සඳහා සෘජුවම බදු ගෙවීමට බැඳී සිටින අයගෙන් නිසි පරිදි බදු අය කර ගැනීම සහතික කළ යුතු බවය.
“අද ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ ලෙස විනාශ වෙලා තියෙන්නෙ. ලෙඩේ වහාම හඳුනාගෙන ඒ අනුව ප්‍රතිකාර කළ යුතුයි. මේකට වගකිවයුත්තන්ගේ වැරදි පෙන්වා දෙන ජනතාව ප්‍රථමයෙන් ඔවුන්ට දඬුවම් කරන ලෙස ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත්, මම මුලින්ම රෝගය සුව කිරීමට උත්සාහ කරනවා, පසුව අපට වැඩිදුර පියවර ගන්න පුළුවන්. අපි ප්‍රමුඛත්වය දිය යුත්තේ රෝගය සුව කිරීමටයි, ඒක තමයි මම කරන්නේ”
ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහතින්..

















