චන්ද්‍ර ෂාෆ්ටර්, අහිමි වූ බාල පුතු ගැන කියන සංවේදී කතාව

 චන්ද්‍ර ෂාෆ්ටර්, අහිමි වූ බාල පුතු ගැන කියන සංවේදී කතාව
  • දිනේෂ් අපේ පවුලේ හදවත සහ ආත්මය යි. ඔහු නොමැතිව අපට පාළුයි
  • ඔහු ගැන අසත්‍ය කටකතා පතුරුවන්නට එපා!

සමාජයේ ඉහළ ගෞරවාදරයට පත් ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍ර ෂාෆ්ටර්, දෙසැම්බර් 15 වන දින සිදුවූ තම බාල පුත් දිනේෂ් ෂාෆ්ටර්ගේ අකල් වියෝව සම්බන්ධයෙන් තම සිතැඟි හෙළි කර තිබේ.

තරුණ ආයෝජකයෙකු, ව්‍යවසායකයෙකු සහ දානපතියෙකු වන දිනේෂ්ගේ අභාවයෙන් පසු ප්‍රථම වරට ඔහුගේ පියා චන්ද්‍රා ඩේලි එෆ්ටී සමග සිදු කරන ලද සම්පූර්ණ කතාබහ මෙහි පළවේ.

මගේ බාල පුතා දිනේෂ්ගේ මරණයට මුහුණ පෑමට සිදු වූ තත්ත්වයන් සහ ඔහුව කුරිරු ලෙස ඝාතනය කිරීමට හේතුව කුමක්දැයි මගේ මිතුරන්, දන්නා හඳුනන අය සහ මා නොදන්නා බොහෝ අය මගෙන් විමසයි.

ඔහු මිය ගිය දින, එනම් 2022 දෙසැම්බර් 15 වෙනිදා, දිනේෂ් ඔහුගේ පවුලේ අය සමඟ එක්සත් රාජධානිය වෙත සවස 4.00 ට පිටත්ව යාමට සූදානම්ව සිටි නිසා සමුගැනීමට මම ඔහු වෙත ගියෙමි. ඔහු තම දරුවන් එක්සත් රාජධානියේ පාසල්වලට ඇතුලත් කිරීම සඳහා එහි යාමට සූදානම් ව සිටියේය.

මෙම සංචාරය නිවාඩුවක් ගත කිරීම සඳහා නොව දිනේෂ්ගේ පුරවැසි බලපත්‍රය මත පදනම්ව ඔහුගේ පවුල සඳහා නේවාසික බලපත් සැකසීම අරමුණු කරගත් සංචාරයකි.

එදින ඔහු හොඳ මානසිකත්වයෙන් සිටි අතර, දහවල් 12 ට පමණ මා ඔහුගේ නිවසින් පිටත්වන තුරු දිනේෂ් සහ ඔහුගේ බිරිඳ මා සමඟ පැයකට ආසන්න කාලයක් ඔහුගේ වැරැන්ඩාවේ වාඩි වී සිටියේ අපි සාමාන්‍යයෙන් එකට සිටින විට මෙන් සිනාසෙමින් විහිළු කරමිනි. ඔහුට ඉක්මන් රැස්වීමක් සඳහා පිටතට යා යුතු බව ඔහු මා සමඟ පැවසූ අතර, ඔහු එය පවසන විට සාමාන්‍ය ස්වභාවයකින් පසුවූ බැවින් මට බියක් හෝ චකිතයක් දැනුණේ නැත.

එදින ඔහු සමඟ මා සමග සිදු කළ කතාබහ අනුව දිනේෂ් කිසිදු අනතුරක් අපේක්ෂා නොකළ බව මට විශ්වාසය. ඉතින්, පසුව සිදු වූ දෙය අප සියල්ලන්ටම සම්පූර්ණයෙන්ම කම්පනයක් විය. ඔහුගේ මරණයට හේතු වූ භයානක කුමන්ත්‍රණය පිළිබඳ ඉඟියක් හෝ ඔහුට නොතිබූ බව මම දනිමි.

දිනේෂ්, ඔහුව නොදන්නා අයට පවා ඉතා මෘදු හා කරුණාවන්ත මිනිසෙක් විය. ඔහු තම පවුලේ අයට සහ මිතුරන් වෙනුවෙන් කැප වූ, සියල්ලටම වඩා වටිනා සබඳතාවලට කැප වූ මිනිසෙක් විය. වසර ගණනාවක්, නිහඬව සලකා බලමින්, අපේ පවුලේ සෑම සාමාජිකයෙකුම හොඳින් පමණක් නොව සතුටින් සිටින බව සහතික කිරීමේ වගකීම භාරගත්තේ දිනේෂ් ය. ඔහු තමන් වෙනුවෙන් කැපවීම් නොතකා සැමවිටම අන් අය වෙනුවෙන් කාලය කැප කළේය.

දිනේෂ් සුවිශේෂී ආදරණීය සැමියෙක් සහ පියෙක් වූ අතර ඔහුගේ ජීවිතය සහ කාලසටහන සම්පූර්ණයෙන්ම ඔහුගේ පවුල වටා බැඳී තිබිණ. ඔහු කතාබහට ශූරයෙකු වූ අතර තම දරුවන්ට, හා සමීප ඥාතීන් හැමට අසීමිත ආදරය හා සෙනෙහස පළකල පුද්ගලයෙකි. පවුල එක් කරන හමුවීම් සංවිධානය කිරීමේ දී ඔහු හා සමතෙක් තවත් නොවේ.

දිනේෂ් අපේ පවුලේ හදවත සහ ආත්මය විය, ඔහු නොමැතිව අපි අතරමං වී සිටිමු.

ඔහු අතිශය විශ්වාසදායක පුද්ගලයෙකු විය. නාඳුනන අයට පවා අහඹු ලෙස කරුණාව දක්වන ක්‍රියා සඳහා දිනේෂ් ප්‍රසිද්ධ ය. වැස්සේ තෙමෙන නාඳුනන අයට දීමට ඔහු තම මෝටර් රථයේ කුඩ රැගෙන ගියේය. අරගලය අතරතුර, කඳුළු ගෑස් වලින් බේරීමට විරෝධතාකරුවන් 200 කට පමණ රැකවරණය ලබා දීම සඳහා ඔහු පැකිලීමකින් තොරව ඔහුගේ කොළඹ 7 නිවසේ ගේට්ටු විවෘත කළේය.

ඔහු මිය ගිය දින උදෑසන ඔහුගේ සහකාරයා වෙත යවන ලද අවසන් කෙටි පණිවුඩවලින් එකක් වූයේ “ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ (SLTA) සේවය කරන පුද්ගලයින් එහි එක් කොනක අබලන් දේපළක ජීවත් වෙයි. එය සාධාරණ ප්‍රමිතියකට ගෙන ඒම සඳහා අපට කළ හැකි දේ සොයා බැලීමට මම කැමැතියි.” යනුවෙනි.

උසාවියේ දී තමන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයෙකු කුලියට ගැනීමට නොහැකි වූවන්ට සේවා සැපයීම සඳහා නීති ආධාර පිළිවෙතක් ඇතුළු බොහෝ වටිනා කරුණු සඳහා ඔහු ආධාරකරුවෙකු විය. සොච්චම් දඩය ගෙවීමට නොහැකි නිසා සිරකර තබා සිටින සිරකරුවන්ගේ දඩ මුදල් ගෙවන්නෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධ විය. මේ තමයි දිනේෂ්. ඔහු පවුලේ අයට සහ ආගන්තුකයන්ට පවා ඔහු ත්‍යාගශීලී හා කරුණාවන්ත වූ කෙනෙකි.

ඔහු සරල ජීවන රටාවක් ගත කළේය ─ බොහෝ විට ඔහු සැරසෙන්නේ ලා නිල් පැහැති කෙටි අත් සහිත කමිසයෙන් සහ සාමාන්‍ය සෙරෙප්පු වලිනි. ඔහු බාහිර ඔපය දක්වන වෘත්තීයමය ඇඳුම්වලට අකමැති ය. ඔහු ටයි පටියක් ඇඳීමට සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අතර නිල උත්සව සඳහා පමණක් සපත්තු පළඳියි.

දිනේෂ් බාහිර ප්‍රසිද්ධියට අකැමති අප්‍රසිද්ධියට කැමති පුද්ගලයෙකි. නොකඩවා ගලා එන උපහාර වලින් අපට දැනෙන පරිදි බොහෝ දෙනෙකුගේ ජීවිත ස්පර්ශ කළ කරුණාවන්ත මෘදු ආත්මයක් වූ මගේ බාල පුතා මට අහිමි විය.

දිනේෂ් නම් පුද්ගලයා සහ ඔහු ගත කළ ජීවිතය ගැන ආඩම්බර වෙනවා මිස වෙන කුමක් කියන්නද? ඔහුගෙන් ජීවිතය ඉතා ඉක්මනින් උදුරා ගත්තද, ඔහුගේ බලපෑම වසර ගණනාවක් මතකයේ පවතිනු ඇතැයි මම දනිමි.

දිනේෂ්ගේ මරණය සහ දිනේෂ් පුද්ගලයා පිළිබඳ කරුණු මේවාය.

සිදුව තිබෙන දේ පරීක්‍ෂණයකට ලක්‌වෙමින් ඇති බැවින් නිර්දය ඝාතනයකට ගොදුරු වූ යහපත් පුතෙකුගේ සහ මනුෂ්‍යයෙකුගේ නමට කැළැලක් ඇති කිරීම අරමුණු කරගත් අසත්‍ය ප්‍රකාශවලින් වළකින ලෙස මම මාධ්‍යයෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිමි.

චන්ද්‍ර ෂාෆ්ටර්

Newspedia 01

Related post