කොළඹ නිදහසට එරෙහිව යාපනයේ හර්තාල්. යාපන මඩකලපු සරසවි සිසුන් එක්වේ!

කොළඹදී සැමරූ ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනයට එරෙහිව යාපනයේ අද හර්තාලයක් පවත්වා තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද හර්තාලයේ කොටසක් ලෙස යාපනය නගරයේ වෙළෙඳසැල් ද වසා දමා තිබෙනු දක්නට ලැබිණි.
මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ සිට මඩකලපුව විශ්වවිද්‍යාලය දක්වා දින හතරක දැවැන්ත කළු කොඩි පා ගමනක් යාපනය සහ මඩකලපුව විශ්වවිද්‍යාලයේ සිසුන් එක්ව සංවිධානය කර තිබේ.
Daily FT පුවත්පතට අනුව අද යාපනය විශ්ව විද්‍යාලයෙන් ආරම්භ වන පාගමන පෙබරවාරි 7 වනදා මඩකලපුව විශ්ව විද්‍යාලයට ළඟා වන අතර එහිදී උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු ඉස්මතු කරමින් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.
සිසුන් විසින් මෙහෙයවන මෙම විරෝධතා පා ගමනට අතුරුදහන් වූවන්ගේ පවුල්, හින්දු සහ ක්‍රිස්තියානි ආගමික නායකයින්, දෙමළ සිවිල් සමාජ කණ්ඩායම්, දෙමළ කාන්තා කණ්ඩායම්, දෙමළ වෘත්තීය සමිති, දෙමළ ගොවීන් සහ ධීවර සංවිධාන ඇතුළු තවත් පිරිසක් එක්වනු ඇත.