පාදෙණියගේ පැමිණිල්ලට පවිත්‍රා ගත් තීරණය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමැතිනිය සමයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඇතුළු 5 දෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීමට එරෙහිව එම නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කරන ලද අභියාචනය අද (26) සළකා බැලිණ.
වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ සභාපතිත්වයෙන් යුක්ත වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් මෙම නිලධාරීන්ට එරෙහිව සිදු කරන ලද පැමිණිල්ලක් ප්‍රකාරව සිදු කෙරුණු විමර්ශනයකින් පසු එවක සෞඛ්‍ය ඇමැතිනිය වශයෙන් කටයුතු කරන ලද පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙම තීරණය ගෙන තිබිණි.
එවක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා සහ මහාචාර්ය නාරද වර්ණකුලසූරිය, වෛද්‍ය උපුල් ගුණසේකර, වෛද්‍ය පුෂ්පිත උභයසිරි, වෛද්‍ය සුනිල් රත්නප්‍රිය යන නිලධාරීන් පස්දෙනා මෙසේ සේවයෙන් ඉවත් කරන ලදී.
පවිත්‍රා වන්නිආරච්චි විසින් ගනු ලැබූ එම තීරණය නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙසේ තීන්දු කරන ලද අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය වජිර දිසානායක මහතාට එම තනතුරේ කටයුතු කිරීම වළක්වමින් වාරණ නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලදී.