පාරිභෝගිකයා ආරක්ෂා කරන්න පුලුවන් උපරිමය කරනවා! – House of fashion

 පාරිභෝගිකයා ආරක්ෂා කරන්න පුලුවන් උපරිමය කරනවා! – House of fashion

බම්බලපිටිය ‘House of fashions’ ශාඛාවේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනයේ කළමනාකාරීත්වය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන් වන්නේ තම ආයතනයේ ප්‍රතිරූපය සම්බන්ධයෙන් නරක බලපෑමක් එල්ල කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වීම සම්බන්ධයෙන් තමන් කණගාටුව පල කරන බවය.

2023 ජනවාරි 21 වෙනි දින තම බම්බලපිටිය ශාඛාවේ සිදුවීමක් වාර්තා වූ අතර, එහිදී පාරිභෝගිකයෙක් විසින් වාහන නැවතුම්පොළේ නවතා තිබෙන තම වාහනය අවහිර වන සේ තවත් පාරිභෝගිකයෙක් ඔහුගේ/ඇයගේ වාහනය නවතා තිබෙන බවට තමන්ට පැමිණිලි කරන ලද බව House of fashions ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

එම පැමිණිල්ලට වහා ප්‍රතිචාර දැක්වූ බම්බලපිටිය ශාඛා කළමනාකාරවරයා, තම අභ්‍යන්තර දැනුවත් කිරීම් සහාය පද්ධතිය මගින් සිව් වතාවකට වැඩියෙන් මේ සම්බන්ධයෙන් දැනුවත් කළ නමුත් අවාසනාවකට වාහනය අවහිර කළ පාරිභෝගිකයා තම වාහනය නවත්වා වෙනත් ස්ථානයකට ගොස් ඇති බව තහවුරු වූ බව ඔවුන් පවසයි.

කෙසේවෙතත්, එම අවස්ථාවේ දී කළහකාරීව හැසිරුණු පැමිණිල්ල සිදු කළ පාරිභෝගිකයා, තම ශාඛා කළමනාකරුට සහ ආරක්ෂක නිලධාරියාට පහත් වචනයෙන් බැණ වැදීමට හා ආරක්ෂක අංශ ප්‍රධානියාට හිරිහැර කිරීමට පටන් ගත් බව එම නිවේදනයේ දැක්වේ.

එම අවස්ථාවේ ඒ අසළ සේවයේ යෙදී සිටි කාර්‍යමණ්ඩල සේවකයන් අදාළ පාරිභෝගිකයා නැවැත්වීමට උත්සාහ කළ ද, ඔහු නොනවත්වාම නිලධාරියාට පහර දීමට යාමේ දී තත්ත්වය වඩාත් කළහකාරී මුහුණුවරක් ගත් බව ද ආයතනය පවසයි.

හවුස් ඔෆ් ෆැෂන්ස් ආයතනය එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වන්නේ එම සිදුවීම හේතුවෙන් තම කීර්තිනාමයට දැඩි කැළලක් සිදුවූ බවය. තමන් තම පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීම සඳහා උපරිම කැපකිරීමක් සිදු කරන බවත්, ඉහළම පාරිභෝගික සේවයක් ලබාදීමට නිරන්තරයෙන් කටයුතු කරන බවත් අවසාන වශයෙන් ඔවුන් සඳහන් කරයි.

Newspedia 01

Related post