පාඨලී සහ වෙල්ගම පුංචි ඡන්දයට නව සන්ධානයකින්!

43 සේනාංකය හා සම්බන්ධ වී සිටින නියෝජිතයන් එලඹෙන පලාත් පාලන ඡන්දය සඳහා තනි තනිව ඇතැම් මිතුරු දේශපාලන පක්ෂ සමඟ ද, පුද්ගල එකතූන් ලෙස මිතුරු පක්ෂ සමඟ ඇති කරගන්නා එකඟතාවන් මතද , ඇතැම් තැන් වල ස්වාධීන කණ්ඩායම් ලෙසද ඉදිරිපත්වීමට නියමිත බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පළාත් පාලන මැතිවරණය තුල 43 සේනාංකය තම සතුරු බලවේග ලෙස සලකන්නේ රට අද පවතින බංකොලොත්භාවයට ඇද දැමූ රාජපක්ෂවාදී පක්ෂ/ කණ්ඩායම් පමණක් බව ද රණවක මහතා සඳහන් කරයි.
ඒ අනුව තෝරාගත් පලාත් පාලන ආයතන කීපයකට 43 සේනාංක නියෝජිතයන් කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ වැදීමට නියමිත අතර, ඒ සඳහා වන එකඟතා ගිවිසුමකට අද දිනයේ එළඹීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු නව දේශපාලන බලවේගයක් ඔස්සේ ඉදිරි දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරන බව ද, පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය,.
එහි වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා’
“අපේ හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මැතිතුමා ඇතුළු කණ්ඩායම සහ 43 සේනාංකය ගිවිසුමකට අත්සන් කරලා එකඟතාවයකට ආවා. එළඹෙන පළාත් පාලන මැතිවරණය අපේ දැක්ම අනුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව අපේ ජනතාවට ලැබෙන අවස්ථාවක්. 2022 දී මේ රටේ ජනතාව සෘජු ක්‍රියාමාර්ග මගින් එවකට හිටපු ජනාධිපති ඇතුළු ආණ්ඩුව පලවා හරිනු ලැබුවා. ඒ පලවාහරිනු ලබන පිරිස නැවත වතාවක් පාර්ලිමේන්තුව හා නගර සභා හරහාත් තමන්ට එල්ල වූ ඒ දැවැන්ත මහජන අවමානය, මහජන පිළිකුල තිබියදීම තමන්ගේ බලය පවත්වාගෙන යාමේ උත්සාහයක ඉන්නවා. මේ ලැබෙන අවස්ථාව අපි සලකන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව අපේ රටේ ජනතාවගේ පිළිකුල, විශේෂයෙන්ම එහි නායකත්වය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ පිරිසට ජනතාවගේ විරෝධය පළ කිරීමේ අවස්ථාවක් හැටියටයි.
ආණ්ඩුවට අද සල්ලි නැහැ. විමධ්‍යගත අරමුදල් නැහැ. රජයට සල්ලි නැත්නම් වරිපනම් එකතු කරගන්න ඉතාම අමාරුයි. ඒ නිසා ඉතාම අපහසුතාවයන් වලට මේ ප්‍රාදේශීය සභා, නගර සභා පත් වෙන්න නියමිතයි. අපි හිතන්නේ මේකේ තියෙන එක ම දේශපාලන ප්‍රයෝජනය තමයි මේ රාජපක්ෂවරුන්ට හා මේ රට බංකොලොත් කරන පවුලටත්, නිලධාරී පැලැන්තියටත්, ජාවාරම්කාර පැලැන්තියටත් එරෙහිව ජනමතය ප්‍රකාශ කිරීමේ අවස්ථාව මේක. අපි 43 සේනාංකය හැදුවේ දේශපාලන පක්ෂයක් හැටියට හෝ මැතිවරණය ඉලක්ක කරගෙන නෙවෙයි. නමුත් අපි ගිය වසරේ මේ රට බංකොලොත්භාවයට පත් වුණාට පස්සේ අපි තීරණය කළා අනාගතයේදී නව දේශපාලන පක්ෂයක්, දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙන්න. නමුත් අපිට කාලය ඒ සඳහා හරස් වුණා. කෙසේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ නව දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ මට්ටමේ පිරිස් රට පාලනය කරන්න ආණ්ඩු කරන්න හැකි පිරිස් එක්ක යන්නේ. ඒ අතරේ සමාන අදහස් දරන මේ රටට මේ අවස්ථාවේ අවශ්‍යම වෙන පුළුල් සමගිය ගොඩනැගීමේ පරමාර්ථයක් හැටියට අපි නව ලංකා නිදහස් පක්ෂය එක්ක ආයතන කිහිපයක් සඳහා සන්ධාන ගත වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී ඉදිරි දේශපාලන යුගයේදී වෙනත් සමහර අදහස් දරන පිරිස් එක්ක පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. පිටතත් මේ රට ගලවාගැනීම සඳහා කටයුතු කරන්න. ඒ වගේම අපි අපේ 43 සේනාංකයේ හිටපු, අපිත් එක්ක සම්බන්ධතාවයේ හිටපු, පළාත් පාලන මන්ත්‍රීවරුන්ට අපි නිදහස දීලා තියෙනවා. කවර දේශපාලන පක්ෂයකින් හෝ කවර තමන්ට රුචි සංවිධානයකින් හෝ ස්වාධීනව හෝ තරඟ කරන්න කියලා. ඒ අනුව ඒ අය ඇතැම් ස්ථානවල විවිධ තැන් වලින් කටයුතු කරයි. ඒ ගැන අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි දේශපාලන වශයෙන් ඉදිරි කාලයේදී නව ලංකා නිදහස් පක්ෂය එක්ක සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි ආරම්භක පියවර හැටියට මේ මැතිවරණයේදී පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා එතුමන්ලත් එක්ක ඒකාබද්ධව අපේ අපේක්ෂකයන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර තැන්වල සුදුසු තත්ත්වයන් බලලා එතුමන්ලාගේ අපේක්ෂකයෝ අපේ අපේක්ෂකයෝ සහ තවත් අපේක්ෂකයෝ ස්වාධීනව ඉදිරිපත් කරන තැන්වල එහෙමත් ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා මේ මැතිවරණය රජය පැවැත්විය යුතුයි. ඒ මැතිවරණය මාර්තු මාසයේ තාම දිනය ප්‍රකාශයට පත් කරලා නැහැ. 21 වෙනිදා ප්‍රකාශයට පත් කරයි මැතිවරණ කොමිසම. අපි ඒ මැතිවරණයේදී එක්ව, මේ රට බංකොලොත් කළ පාලකයින්ට, ජනමතය පෙන්වන ක්‍රියාවලියක් බවට මේක පත්කරගමු. රට ආණ්ඩු කරන වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි ඉදිරියේදී. ඒ සඳහා මින් ඉදිරියට මහ මැතිවරණයත්, ජනාධිපතිවරණයත් දිනා ගැනීම සඳහා අපි කටයුතු කරනවා”
පාඨලී චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නායක – 43 සේනාංකය
මෙහිදී අදහස් දැක්වූ නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා;
“ළඟ තියෙන පළාත් පාලන මැතිවරණයේදී 43 සහ අපි එකට තරඟ කරලා මැතිවරණයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා, මෙතනදි අපේ මූලිකම බලාපොරොත්තුව පොදුජන එක්සත් පෙරමුණ පළාත් පාලන මැතිවරණයෙන් ඉවත් කරන එක. ඒ අයට ඒ අයිතිය තියෙනවා. ඒ අයට අපි සුභ පතනවා. ඉතින් අපි කාටවත් වෛර කරන්නේ නැහැ. නමුත් රටේ ජනතාව අද පොහොට්ටුවට නම් වෛර කරනවා. කොච්චර ඒගොල්ලන්ගේම අපේක්ෂකයෝ දැම්මාද? ඉතින් ඒකට එරෙහිව තමයි අපි ඉදිරිපත් වෙන්නෙ, අනිත් එක තමයි අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ පාලනය ඉදිරියේදී විශේෂයෙන්ම තරුණ තරුණියන්ට මේක ලබාදීමට. පුහුණුවක් ලබාදීලා ඔවුන්ට අනාගතයේදී ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන්ම තරුණ තරුණියෝ අපි ඉදිරියට ගන්න ඕනේ අපේ කාලයෙන් පස්සේ මේ රට භාර අරගෙන හරියට කරගෙන යන්න. ඔක්කොම දොස් කියනවා මේ අවුරුදු හැත්තෑ හතරක දූෂිතයි කියලා. ඒ නිසා එවැනි දේකට මුල් වෙන්නේ නැතුව හොඳින් කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අනිත් එක අපි මේ සන්ධානයෙන් බලාපොරොත්තු වෙන්නේ කිසිම දූෂණයක්, භීෂණයක් මේ රටේ ඇති නොවන්නටයි. රටට බලපාන අහිතකර තීන්දුවක් කවදාවත් අපි අරගෙන නැහැ.
විශේෂයෙන්ම අපේ පාඨලී චම්පික රණවක හැම අවස්ථාවකදීම කැබිනට් එකේදී එතුමාගේ සෘජු අදහස් ප්‍රකාශ කළා. මමත් ඒ කැබිනට් මණ්ඩලය තුළ හිටියා. ඒ කැබිනට් මණ්ඩලයේ අනිත් අය ඔක්කොම අත උස්සනකොට මම ඇතුළුව. අපි අත උස්සනකොට ඊට විරුද්ධව නැගිට්ට. මං හිතන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි එතුමා. අනිත් එක්කෙනා නම් ඒකට විරුද්ධ වුණාට කමක් නෑ. ඔහු ඊට පස්සේ ඔහු ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක ඉල්ලා අස්කරගත්තා. නමුත් මෙතුමා ඉල්ලා අස්කරගන්නෑ. එතුමා පැහැදිලිවම කියනවා මගේ විරුද්ධතාවය ලියාගන්න කියලා. එවැනි නායකයෝ තමයි ඉදිරියට යන්න ඕනේ. අනිත් කොන්ද පණ නැති නායකයොත් එක්ක එතුමා මිනිස්සු පිළිගන්නවා. රටේ මහජනතාව. මං ඒක බය නැතුව හැමතැනම කියනවා. මං කොහේ ගියත්. 43 සේනාංකයේ පාඨලී චම්පික රණවක මැතිතුමා ඉහළ මට්ටමකින් පිළිගන්නවා මේ රටේ මිනිස්සු අද මේ රටේ. ඇත්තටම බෙහෙවින්ම සන්තෝෂ වෙනවා, ඔබතුමා වගේ නායකයෙක් එක්ක අද මේ සන්ධානගත වීම සම්බන්ධයෙන්.”
කුමාර වෙල්ගම, පාර්ලිමේන්තු මන්ත්‍රී, නායක – නව ලංකා නිදහස් පක්ෂය