සැළසුම් කළ පරිදි ඡන්දය තියනවා! – මැතිවරණ කොමිසම

සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඒ මැතිවරණය පැවැත්වීම වළක්වන්නැයි විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන ඩබ්ලිව් එම් ආර් විජේසුන්දර මහතා ගොනුකර තිබූ පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී ය.
මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ මේ වන විට සැලසුම් කර ඇති පරිදි නිසි කලට මැතිවරණය පවත්වන බවයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස් තුරෙයිරාජා සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව අද කැඳවනු ලැබිණ.
පෙත්සමට සංශෝධන කිහිපයක් එක් කිරීමට නියමිත බව, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි කනිෂ්ඨ නීතිඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන් අතර, මෙම කරුණට අදාළව ගොනුකර ඇති තවත් පෙත්සමක් ලබන 18 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බැවින්, මෙම පෙත්සමද, එදිනට කැඳවීමට නියම කරන්නැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.
ඒ අනුව පෙත්සම ලබන 18 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියම කළේය.