ඡන්දෙට සල්ලි දෙන්න විදියක් නෑ! – දුන්නොත් රට වැටෙනවා! – මුදල් අමාත්‍යාංශය

ඡන්ද පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී නීතිමය බලය හිමිව ඇති මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණයක් පැවැත්වීම සඳහා මිලියන 10ක මුදල් වෙන්කර ඇති බවත් එම නිසාවෙන් මුදල් නොමැතිවීමෙන් මැතිවරණ කල් දමන බව පැවසීම අසත්‍යක් බවට මැතිවරණ කොමිසම පසුගියදා ප්‍රකාශ කරන ලදී.
නමුදු මුදල් අමාත්‍යංශ නිලධාරියෙකු විසින් මේ මොහොතේ මැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීම සිදු කළ නොහැකි බවට පවසා ඇති පවතක් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම පුවත…
ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණ පා සිටින මේ මොහොතේ මැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීම සිදු කළ නොහැකි යැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
එලෙස මුදල් වෙන් කිරීමට සිදුවුවහොත් ආර්ථිකය ගොඩගැනීම සඳහා පසුගිය මාස 06 දී ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ විනාශ වී රටේ උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වනු ඇති බවත් ඔහු කීවේය.
මේ වන විට රාජ්‍ය මාසික ආදායම ප්‍රමාණවත් වන්නේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා සඳහා පමණක් බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.
පවතින මූල්‍ය අර්බුදය විසඳීම සඳහා මේ වන විට ක්‍රමානුකූලව පියවර ගෙන තිබෙන බව පැවසූ එම නිලධාරියා ලබන වසරේ මාර්තු මාසය පමණ වන විට එහි සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවනු ඇති බව ද පැවසීය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ එම නිලධාරියා මෙසේ ද කීය.
මේ වන විට රජයේ මාසික ආදායම ප්‍රමාණවත් වන්නේ රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් මිලියන 93,000ක්, විශ්‍රාම වැටුප් සඳහා රුපියල් මිලියන 26,500ක්, සමෘද්ධි දීමනා සඳහා රුපියල් මිලියන 6,000ක් වෙන් කිරීම සඳහා පමණයි.
ඊට අමතරව සමාජ සුබසාධක ප්‍රතිලාභ සඳහා රුපියල් මිලියන 3,500ක්, ඖෂධ හා සෞඛ්‍ය සේවා සඳහා රුපියල් මිලියන 3,000ක්, හමුදා සලාක සඳහා රුපියල් මිලියන 2,000ක්, පොහොර සඳහා රුපියල් මිලියන 2,000ක්, ඉන්ධන, විදුලිය, ජලය සහ රක්ෂණ සඳහා රුපියල් මිලියන 7,000ක් අනෙකුත් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් මිලියන 3,000ක් මෙන්ම ණය ගෙවීම් ආදී සියලු කටයුතු සඳහා ණය ගත යුතුව තිබෙනවා. මෙහිදී රජය වෙත බැංකුවලින් ලබා දෙන ණය අයිරා ද අඩු කර ඇති බැවින් ඇති එකම විකල්පය මහ බැංකුවෙන් මුදල් ලබා ගැනීමයි.
ඒ අනුව මැතිවරණයකට මුදල් ලබා ගත යුත්තේ ද මහ බැංකුවෙන් වන අතර මුදල් නෝට්ටු මුද්‍රණය හේතුවෙන් තවදුරටත් උද්ධමනය ඉහළ යෑම වැළැක්විය නොහැකියි. එසේ වුවහොත් ජනතාවට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවේවි.