පළාත් පාලන ඡන්දය ගැන කොමිසම කියන්නෙ බොරු!

පළාත් පාලන ඡන්දය දෙසැම්බර් අවසාන සතිය තුළ ප්‍රකාශයට පත් කරන බවට මැතිවරණ කොමිසම විසින් දෙසැම්බර් 8 දා ප්‍රකාශයට පත් කළත් එ සඳහා තවත් ඇත්තේ දින තුනක කලයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 4 සිදුවන බවට වාර්තා වෙන බවත් එහෙම වන්නේ කෙසේදැයි ජනතාව ප්‍රශ්න කරන බවත් ඔහු පැවැසීය. අද (28දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“මාර්තු 20 වන විට පලාත්පාලන ආයතන වල නිල කාලය අවසන් වෙනවා. ඊට පෙර පලාත්පාලන ආයතන යලි පිහිටුවීමට නම් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ජනවාරි 9දා දක්වා කල් තිබෙනවා. නීතිය අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කරන දිනයෙන් 14 වන දින සිට 17 දින දක්වා නාමයෝජනා භාර ගත යුතුයි.
අපි මැතිවරණය ප්‍රකාශයට පත් කරන දිනය ජනවාරි 4 කියලා හිතුවොත් ජනවාරි 18 දා සිට 21 දක්වා නාමයෝජනා භාර ගත යුතුයි. නීතිය අනුව නාමයෝජනා අවසන් කර සති පහකට නොඅඩු සති හතකට නොවැඩි කාලයක් තුල මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ අනුව පෙබරවාරි 25 සහ මාර්තු 11 දින අතර මැතිවරණය පැවැත්විය යුතුයි. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 9 දක්වා කල් ගියොත් මැතිවරණයය මාර්තු 16 වන විට පවත්වා අවසන් කළ යුතුයි.
සමහරුන් කියනවා නාමයෝජනා අරගෙන කල් දැමීම තමයි ආණ්ඩුවේ සූදානම කියලා. පසුගිය වතාවේ නාමයෝජනා අරගෙන කල් දැමීම සිදු කළේ ආණ්ඩුව නොවෙයි මැතිවරණ කොමිසම. කොවිඩ් වාතාවරණය යටතේ මැතිවරණය පැවැත්වීමට වාතාවරණයක් නැහැ කියලා මැතිවරණ කොමිසම තීරණය කළා.
දැන් මේ මැතිවරණය පැවැත්වීමේ පසුබිමක් නැතැයි කියන්නේ ආණ්ඩුව මිසක් මැතිවරණ කොමිසම නොවෙයි. මැතිවරණ කොමිසම උසාවියට කරුණු දක්වලා තියෙනවා මැතිවරණය පැවැත්වීමට නීතිය අනුව කටයුතු කරනවා කියලා. මෙසේ නීතියට අනුව කටයුතු කරන්න නම් ජනවාරි 9 වන විට මැතිවරණය ප්‍රකාශයට පත්කළ යුතුයි.
ඒ නිසා උසාවිය මේ නඩුව යළි කැඳවනවා ජනවාරි මස 18 වැනි දා. ජනවාරි මස 18 වනදා වන විට උසාවියට දුන් පොරොන්දු ප්‍රකාරව මැතිවරණ කොමිසම මැතිවරණය ප්‍රකාශයට පත් කරලා නොතිබුනොත් උසාවි නියෝගයක් ලැබෙනවා වහාම මැතිවරණය තියන්න කියලා. මැතිවරණය කල් දැමීමේ මානසිකත්වයක මැතිවරණ කොමිසම නැහැ. මැතිවරණ කොමිසම ඡන්දය තබන්න යන විට එය කල් දැමීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ.
මැතිවරණය සඳහා ආරක්ෂාව දෙන්න බැහැයි රජය කිව්වොත් එය අධිකරණයේ දී පිළිගත හැකි හේතුවක් නොවේ. පළමුවෙන් ඡන්දය දමන දසදෙනා මරා දමන බවට තර්ජනය කරපු 87- 89 ජවිපෙ භීෂණ යුගයේ දී මැතිවරණ නමයක් පැවැත්වුණා. ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා හතක මැතිවරණ එම භීෂණ යුගයේ දී පැවැත්වුණා. එම කාලයේදී ඡන්ද තියන්න පුළුවන් වුණා නම් දැන් ඡන්ද කියන්න බැහැ කියන එක කිසිම පදනමක් නැහැ.
ඒ වගේම මුදල් නැහැ කියනවා නම් බිලියන 3,300ක අයවැයක් අනුමත කරගත්ත ආණ්ඩුවකට, දවසකට බිලියන තිහක් හතළිහක් මුදල් මුද්‍රණය කරන ආණ්ඩුවකට බිලියන දහයක් හොයාගන්න නැහැ, ඡන්දයකට සල්ලි නැහැ කියන එක අතිශයින්ම අතාර්තික තර්කයක්.
මැතිවරණ කොමිසම ඡන්දය පවත්වන්නට යනවා. ජනාධිපතිවරයා ව්‍යස්ථාවෙන් බැඳී ඉන්නවා නිදහස් සහ සාධාරණ ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සකස් කරන්න. ඒක නොකොළොත් එක කරන මෙන් අධිකරණය නියෝග කරනවා. මේ නිසා මේ නාමයෝජනා අරගෙන ඡන්දය කල් දැමීම කියලා ආණ්ඩුව කියන කතාවට කිසිම පදනමක් නැහැ.”