චෝ සුන්ග් ලී මට බැන්නේ නෑ! – මාධ්‍යට එරෙහිව CID යනවා! – අනුප පස්කුවල්

පසුගිය අඟහරුවාදා (22) දකුණු කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සුන්ග් ලී මහතා විසින් කොළඹ දී තමන්ට සහභාගී වීමට පැවති වැඩසටහනකට සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා හා නිලධාරීන් පිරිසක් ප්‍රමාදවී පැමිණීම හේතුවෙන් ඔවුන්ට දැඩි අප්‍රසාදය පළ කළේය.
මෙම සිදුවීම පිළිබඳව ඊයේ (23) දින අමාත්‍යාංශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අනුප පස්කුවල් මහතා සඳහන් කර සිටියේ එවැනි දෝෂාරෝපණයක් චෝ සුන්ග් ලී මහතා එල්ල නොකළ බවත් තමන් ඇතුළු පිරිස නියමිත වෙලාවට එම ස්ථානයට පැමිණි බවත්ය.
“අපි තුන්දෙනාම මෙතනට ආවේ හරියටම 9.30ට. 9.40 ට මගේ කතාව ඉවරයි. 9.40 සිට 10.45 දක්වා එතුමාගේ කතාව.වැඩසටහන දහවල් 12 ට අවසන් කළා. මට දෝෂාරෝපණය කළා කියන එක බොරුවක්. එක විනාඩියක්වත් පමා වුණේ නැහැ. සමස්ත ජනතාවම වේලාවට වැඩකරන්න ඕනේ. ඒකේ අඩුපාඩුවක් තියෙනවා. පුවත්පතකින් තමයි විකෘති පුවත දාලා තිබුණේ. අමාත්‍යාංශයේ වැඩ අපි අකුරටම ක්‍රියාත්මක කරනවා. අපිට මඩ නොගහා අපේ හොඳ රටට කියන්න. හොඳයි හොඳයි කියන එක තමයි කියන්න ඕනේ.”
එහිදී මාධ්‍යවේදියෙකු විසින් අනුප පස්කුවල් මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ “ඔබතුමාලා මේ වැඩසටහන 9.30 ට පටන් අරගෙන.. ඇයි මාධ්‍යවලට උදේ 9ට ආරාධනා කළේ ?” යනුවෙනි.
ඒ සඳහා අමාත්‍යවරයා පවසා සිටියේ “කැමරා හයිකරගන්න ඕනේ. 9.30ට එද්දී අපි තුන්දෙනාම එකට ආවේ.” යනුවෙනි.
නමුදු මාධ්‍යවේදීන්ට වේලාවක් ලබාදෙනු ලබන්නේ එම වැඩසහන ආරම්භ කරන වෙලාව මිස කැමරා සවිකර ගැනීමටත් කාලයක් ලබාදෙමින් නොවන බව ඕනෑම වැඩසටහන් සැලසුම් කරන පුද්ගලයෙකු වුවත් දන්නා අතර මාධ්‍යට වෙලාවක් ලබාදීමෙන් පසු එම වෙලාවට කළින් පැමිණ කැමරා සවිකර ගැනීම මාධ්‍ය සම්ප්‍රධාය බව අනුප පස්කුවල් මහතා නොදන්නවා විය හැකිද යන්න ප්‍රශ්නයකි.
කෙසේ නමුදු අමාත්‍යවරයා විසින් අදාළ සිදුවීම පුවත්පතක වරදක් බවට කරමත පටවා අද (24) දින එම මාධ්‍යට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට සුදානම්ව සිටී.
මාධ්‍යවේදියෙක් – “හෙට අනිවාර්යයෙන්ම CID එකට යනවාද ?”
අනුප පස්කුවල් – “හෙට අනිවාර්යයෙන්ම යනවා.. හෙට උදේ 10 ට.”