බඩගින්නට දිවිනසා ගන්න මිනිසුන් ඇති රටේ, මහා පරිමාණ ව්‍යාපෘති 7ක් නැවත අරඹයි!

 බඩගින්නට දිවිනසා ගන්න මිනිසුන් ඇති රටේ, මහා පරිමාණ ව්‍යාපෘති 7ක් නැවත අරඹයි!

රට තුළ පැවති මුල්‍ය සංචිත හිඟ වීමත් සමඟ පැමිණි ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රාජ්‍ය බංකොලොත් බවට ප්‍රකාශයට පත්කරන ලදී. මේ හේතුවෙන් ඒ වනතෙක් සිදු කරමින් පැවති හා සිදු කිරීමට සැලසුම් කර තිබූ මහා පරිමාණ ව්‍යාපෘති නවතා දමන ලද්දේ සේවක වැටුප් ගෙවීම්, අමුද්‍රව්‍ය ආනයනය නවතා දැමීම හා අමුද්‍රව්‍ය මිල අධිකව ඉහළ යාම, ඉන්ධන හිඟය ඇතුළු අර්බුදකාරී හේතු ගණනාවක් මුල් කර ගනිමිනි.

තවමත් විසඳි නොමැති ආර්ථික අර්බුදය හමුවේ එදිනෙදා ආහාර වේල ලබාගැනීමට නොහැකිව සියදිවි හානිකරගන්නා ජනතාවක් හා ජන මතය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී මෙවලම වන මැතිවරණය පැවතීමට මුදල් නොමැති බව පවසමින් මැතිවරණය කල් දැමීමේ උත්සාහයක නියැලෙන මොහොතක නැවත මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට රජය කටයුතු යොදා තිබේ.

ඒ අනුව මහා පරිමාණ ව්‍යාපෘති 8ක් ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු ‘ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් නැවත – ක්‍රමෝපායකරණය හා කඩිනම් කිරීමේ බලතල සහිත නිලධාරී කමිටුව (RAMP)’ මගින් 2022.11.25 දින PMO/DEV ii/2/2/1 යන ලිපිය ඔස්සේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ නිර්දේශ ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් නැවත – ක්‍රමෝපායකරණය හා කඩිනම් කිරීමේ බලතල සහිත නිලධාරී කමිටුවේ (RAMP) නිර්දේශ යටතේ මහාපරිමාණ ව්‍යාපෘතීන් 7ක් නැවත ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇති බවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) බර්නාඩ් වසන්ත මහතාගේ අත්සනින් ඊයේ දින ලිපියක් මගින් දන්වා තිබේ.

එම ව්‍යාපෘතීන් මෙසේයි..

  1. කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය
  2. මහව – ඕමන්තේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය
  3. කුරුණෑගල – හබරණ නව දුම්රිය මාර්ග ව්‍යාපෘතිය
  4. සහසර බස් නව්‍යකරණ ව්‍යාපෘතිය
  5. මහ කොළඹ ප්‍රවාහන ජාල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (3 Km)
  6. දුම්රිය මැදිරි 300 අලුත් වැඩියා කිරීමේ ව්‍යපෘතිය
  7. බස් රථ 600 මිලට ගැනීමේ ව්‍යාපෘතිය.

ඒ අනුව මෙම ව්‍යාපෘතීන් කඩිනමින් නැවත ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන), අධ්‍යක්ෂ ජෙනරාල් (සැලසුම්), අධ්‍යක්ෂ ජෙනරාල් (තාක්ෂණ), ප්‍රධාන මුල්‍ය නිලධාරීවරයාටත් දන්වා ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යධිකාරීවරයට හා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයාටත් ලිපි යොමුකරමින් දන්වා තිබේ.

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් නැවත – ක්‍රමෝපායකරණය හා කඩිනම් කිරීමේ බලතල සහිත නිලධාරී කමිටුව (RAMP) මගින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයට යොමුකළ නිර්දේශ ඇතුළත් ලිපිය.

Newspedia 02

Related post