ඇත්ත කීවාම නඩු දානවා නම් ඒ ඇමතිගේ දැනුම ගැන ප්‍රශ්නයක් තියෙනවා! – විදුලි ඉංජිනේරුවරු

ගල් අඟුරු නොලැබීම හේතුවෙන් පැය 10ක විදුලි කප්පාදුවක් 2023 වසර ආරම්භයේදීම සිදුවන බවට විදුලි ඉංජිනේරුවරුන් පවසා සිටීමේ ප්‍රකාශයට ඊයේ දින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පිළිතුරු ලබාදෙන ලදී.
එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ එවැනි විදුලි කප්පාදුවක් සිදු නොවන බවත් එවැනි ප්‍රකාශ සිදුකල විදුලි ඉංජිනේරු සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බවයි.
කංචන විජේසේකර මහතාගේ එම ප්‍රකාශයට ඊයේ දිනයේදීම නැවත විදුලි ඉංජිනේරු සභාපතිවරයා මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් ප්‍රකාශ කර සිටියේ අමාත්‍යවරයා කුමක් කීවද නියමිත වෙලාවට ගල් අගුරු නොලැබෙන්නේ නම් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවයි.
“ඇත්තටම නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක එතුමාගේ කාර්යයක්.මම කලට වෙලාවට ගල් අඟුරු ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවය මම පෙන්වා දුන්නේ. මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී. මොකද 2021 සහ 2022 වර්ෂය සඳහා ගෙන්වපු ගල් අඟුරු තොගය පැහැදිලිවම 2022 සැප්තැම්බර් වෙනකොට අවසාන වෙන්න ඔන්න මෙන්න තිබුණා. ඒ අවස්ථාවෙත් අපට යම් සැකයක් තිබුණා ඒ වෙනකොට ගෙන්න ගන්න. සැප්තැම්බර් වල වාරකන් කාලය අවසන් වුණා. ඊට පස්සේ තමයි ආරම්භ වෙන්නේ ගල් අඟුරු ගෙන්වා ගැනීම කාලය. ඒ කියන්නේ සැප්තැම්බර්15 ඉඳලා ලබන අවුරුද්දේ අප්‍රේල් මස වෙනකන්. ඒ කාලය තුලදී නැව් 38 ගෙන්න ගන්න ඕන. කොහොමද? උදාහරණයක් විදිහට රෝහලක බෙහෙත් නැත්තං ඒ නැති කම කියන්න ඕන වෛද්‍යවරයෙක්. මොකද බෙහෙත් ගෙන්වා ගැනීමේ වගකීම තියෙන්නේ වෛද්‍යවරයාට. නැත්නම් රෝගියා මැරෙනවා. ඉතින් ඒ වගේ තමයි. දැන් විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ඒ වගකීම තියෙනවා. ඉංජිනේරු සංගමය හැටියට තමයි ඒවා පෙන්වා දෙන්නේ. අපි කිව්වහම ඒ වගකිවයුතු නිලධාරීන්, බලධාරීන්, දේශපාලනඥයින්, උනන්දු වෙලා ඒක ගෙනත් දෙන්න ඕනේ. එහෙම ගෙනත් දුන්නම පාරිභෝගිකයෝ දුක් විඳින්නේ නැහැ. ඒකයි අපි කියන්නේ. අපි ඉතින් මෙහෙම කිව්වට පස්සේ ඒක අපට එරෙහිව නිත්‍යානුකුලව පියවර ගන්නවානම් ඒ දේශපාලනඥයන්ට මට තේරෙන්නෑ මොකක්ද තියෙන දැනුම කියන එක. මොකද අපි වෘත්තිකයෝ. අපේ රාජකාරි ඒගොල්ලන්ට කරන්න බැහැ. දැන් මට විදුලි ඉංජිනේරුවෙක් විදියට මට ඉගැන්නුවේ මගේ මහාචාර්යවරු. විශ්ව විද්‍යාලයේ. ඉතින් ඒ මහාචාර්යවරු උගන්නපු එක මම පාවිච්චි කරලා ඉවරවෙලා කලට වෙලාවට ඒ දේ සිදු නොකරනවා නම්, මගේ ඉංජිනේරු වෘත්තියෙන් ඇති වැදගත්කම මොකක්ද? මගේ රටේ මහජනතාව මට ඉගැන්නුවා නම් මම ඒක ප්‍රකාශ කරන්න ඕන. පැහැදිලිවම මහජනතා සේවයක් මම කරන්නේ. මම කරන ලබාගන්න වැටුපට මම ඒ දේ පැහැදිලිව කරන්න ඕනේ.”