දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයා සමීපතමයෙක්… – බිරිඳගෙන් පැය 2ක් ප්‍රශ්න කරයි!

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වූ, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා දෙසැම්බර් 15 වනදා අබිරහස් ලෙස මරණයට පත්විය.
එහිදී දිනේෂ් ෂාෆ්ටර් මහතාව බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ඝාතනය කර ඇත්තේ ඔහු ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සමීපතමයකුගේ සැලසුමකට අනුව බවට බලවත් සැකයක් මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට මතුවී තිබේ.
ලැබී ඇති දත්ත අනුව දිනේෂ් ෂාෆ්ටර් මහතා අවස්ථා කිහිපයකදීම බොරැල්ල කනත්ත වෙත පැමිණ ඇති බවත් මෙම අවසන් ගමන ඔහු කිසි ලෙසකින් ඝාතන සැලසුමක අවස්ථාවක් ලෙස නොසිතා සිටි බවට බවට පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙකු පවසා සිටි.
ඒ මහතා හමුවීමට ආ ඝාතකයා සමීපතමයෙකු වීමට හේතු වී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ වාහනය කිසිදු තැනක නතර නොකර කෙළින්ම බොරැල්ල කනත්ත තුලට පැමිණීම හා ඔහු නිතර හමුවන පෞද්ගලික හිතවතෙකු වීම නිසා කිසිදු සගයෙකු එම අවස්ථාවට රැගෙන ගොස් නොතිබීම තුළින් බව එම උසස් පොලිස් නිලධාරිවරයා පවසයි.
මේ අතර දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඒ මහතාගේ බිරිඳගෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.
පැය දෙකක පමණ කාලයක් ඇයගෙන් මෙසේ ප්‍රශ්න කර ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාට තිබූ ජීවිත තර්ජන මෙන්ම ඔහුට තිබූ ප‍්‍රශ්නකාරී මුදල් ගනුදෙනු සිදුකළ පුද්ගලයන් පිළිබඳවයි.
අදාල ප්‍රකාශ ලබාගෙන ඇත්තේ ෂාෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පැවැත්වීමෙන් පසු ඔහුගේ නිවසේදීය.
එමෙන්ම ෂාෆ්ටර් මහතාගේ බිරිඳගේ ජංගම දුරකථනයද වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන ඇතැයි ද මාධ්‍ය වාර්තා පළ වී ඇත.