ආරක්ෂක රාජ්‍ය ඇමැතිගෙ ගෙයකුත් කොල්ලකාලා!

 ආරක්ෂක රාජ්‍ය ඇමැතිගෙ ගෙයකුත් කොල්ලකාලා!

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ බිරිඳට අයත් නිවසක් බිඳ එහි තිබූ භාණ්ඩ සොරකම් කළ බව පැවසෙන පුද්ගලයෙකු සොරාගත් භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය පවසයි.

මහනුවර, වේවැල්පිටිය, ලේඩි ගෝඩ්න් මාවතේ (පැරණි ඕඩියන් සිනමා හල අසල) පිහිටි එම නිවස රාත්‍රී කාලයේ බිඳ එම නිවසේ තිබූ ගෑස් සිලින්ඩර දෙකක් සහ විශාල රූපවාහිනී යන්ත්‍රයක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව එම ප්‍රදේශයේ වෙළෙඳ සැලක සවි කොට තිබූ ආවේක්‍ෂණ කැමරාවක දත්ත පරීක්‍ෂා කිරීමේදී සැකකරු විසින් සොරකම් කරන ලද භාණ්ඩ කර තබාගෙන යන අයුරු නිරීක්‍ෂණය කිරීමෙන් පසු, මහයියාව ප්‍රදේශයේදි සැකකරු සහ සොරකම් කරන ලද භාණ්ඩ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Newspedia 01

Related post