අප්‍රිකාවට නොසෑහෙන ණය දීම චීනයටම උගුලක් වෙයි. ලංකාවට පමණක් මොන සහනද?

අප්‍රිකානු රටවලට ලබා දී තිබෙන අති දැවැන්ත චීන ණය හේතුවෙන්, එම ණය ආපසු අය කරගැනීමට දරණ ව්‍යායාමය චීනයට මහත් හිසරදයක් බවට පත්ව තිබේ.
2000 සහ 2020 අතර අප්‍රිකාවේ විදේශ ණය පස් ගුණයකින් ඉහළ ගොස් තිබේ. (ඩොලර් බිලියන 696 දක්වා) ඉන් 12% ක් චීන ණය දෙන්නන් විසින් දරනු ලබන බව පැවසේ.
අප්‍රිකාවට ලබාදෙන චීන ණය පිළිබඳව එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර ජාතීන්ගේ විවේචනයට බඳුන් වී තිබේ. ඇප ලෙස ඉදිරිපත් කර ඇති අප්‍රිකානු වත්කම් අත්පත් කර ගැනීමේ සැළසුමක් සම්බන්ධයෙන් ද චීනයට චෝදනා එල්ල වේ.
නමුත් පර්‍යේෂකයන් පවසන්නේ, එය අප්‍රිකානු වත්කම් අත්පත් කරගැනීමේ චීන සැළසුමකට වඩා මේ අක්‍රමවත් ණය දීම හේතුවෙන් චීනයම ණය උගුලකට සිරවී ඇති බවකි. උදාහරණයක් ලෙස චීනය සැම්බියාවට අධිකව ණය ලබාදී ඇති අතර, ඔවුන් එම ණය විශාල වශයෙන් පැහැර හැර තිබේ. ඇන්ගෝලාව, ඉතියෝපියාව, කෙන්යාව සහ කොංගෝ ජනරජය ඇතුළු ණය බරින් මිරිකී සිටින අනෙකුත් අප්‍රිකානු ජාතීන්ට ද චීනය ණය ලබා දී ඇත.
බොහෝ අප්‍රිකානු ජාතීන්ගේ ණය ගෙවීම් හැකියාව අඩපණ වීමට හේතු වී ඇත්තේ, වසංගතය නිසා ආර්ථික බිඳවැටීම සහ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ය. අප්‍රිකානු මහාද්වීපය ණය ආපසු ගෙවීමේ අර්බුදයක් කරා ගමන් කරමින් සිටින අතර, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකයන්ට අනුව, රටවල් 54 න් 22 ක් ණය උවදුරුවලට ගොදුරු වීමේ අවදානමක ඇත.
චීනයට විශාලතම අප්‍රිකානු ණයගැතියන් වන්නේ:
- ඇන්ගෝලාව – ඩොලර් බිලියන 42.6
- ඉතියෝපියාව – ඩොලර් බිලියන 13.7
- සැම්බියාව – ඩොලර් බිලියන 9.8
- කෙන්යාව – ඩොලර් බිලියන 9.2
සංවර්ධනය වෙමින් පවතින රටවල ණය බර අඩු කිරීමේ ගෝලීය ප්‍රයත්නයේ නිරත නොවීම හේතුවෙන් චීනය විවේචනයට ලක්ව ඇත. එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් කිහිප වතාවක්ම පවසා ඇත්තේ ‘බීජිං’ ප්‍රගතියට විශාලතම බාධාව වී ඇති බවයි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආර්ථික වර්ධනය, බලශක්තිය සහ පරිසරය පිළිබඳ උප ලේකම් ජෝස් ෆර්නැන්ඩස් පසුගිය සතියේ සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ අප්‍රිකානු ජාතීන් විසින් චීනයට ගෙවිය යුතු ණය සම්බන්ධයෙන් වඩාත් විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බවය.
බොහෝ රටවල්වල ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව ගැන කණස්සල්ලට පත්ව සිටින චීන ආයතන මෑත වසරවලදී අප්‍රිකාවට ලබා දෙන ණය ප්‍රමාණය යම් ප්‍රමාණයකින් කපා හැර ඇති බව ද වාර්තා වේ.
කොරෝනා වෛරස් වසංගතය අතරතුර, අප්‍රිකානු රජයන් වෙත ලබාදෙන නව චීන ණය; 2016 දී ඩොලර් බිලියන 28.4 සිට 2019 දී ඩොලර් බිලියන 8.2 දක්වා සහ 2020 දී ඩොලර් බිලියන 1.9 දක්වා පහත වැටුණු බව පර්යේෂකයෝ පවසති.
මෙවන් තත්ත්වයක් තුළ චීනය ශ්‍රී ලංකාව වැනි රටකට පමණක් සහන සළසාවි යැයි කිසිසේත්ම බලාපොරොත්තු තබා ගත නොහැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ශ්‍රී ලංකාව තම විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තම විදෙස් ණය හිමියන් සමග සාකච්ඡා කරන අතර, විශාලතම ණය හිමියෙක් වන චීනය, තම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙතෙක් එකඟතාවය පල කොට නොමැත.