කොල්ලුපිටියේ දී අයෙක් බිලිගත් සැප රියේ රියදුරු තවම අල්ලා නෑ!

රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ආපසු එමින් සිටියදී කොල්ලුපිටියේදී ඊයේ අලුයම මාරක රිය අනතුරකට ලක්වූ මර්සිඩීස් මෝටර් රථයේ රියදුරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිසිය සමත් ව නොමැත.
කොළඹ, ආර්.ඒ. ද මැල් මාවතේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ආපසු පැමිණෙමින් සිටි සුඛෝපභෝගී මෝටර් රථයක් (මර්සිඩීස්) කොල්ලුපිටියේදී ත්‍රිරෝද රථයක ගැටී සෙනසුරාදා අලුයම සිදුවූ අනතුරින් 58 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.
සෙනසුරාදා පෙරවරු 6.15 ට පමණ මර්සඩීස් රථයේ රියදුරු සිනමන් ලේක්සයිඩ් හෝටලයේ සිය කාමරයට ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය විය. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලීසිය පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පිරිමි පුද්ගලයෙකු සිට ඇති අතර, ඉන් වයස අවුරුදු 29 සහ 31 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවය.
සැකකාර රියැදුරුට දෙහිවල සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල ලිපිනයන් දෙකක් තිබූ බව ද වාර්තා විය. කෙසේ වෙතත් ඔහු නැවතී සිට ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් වන සිනමන් ලේක්සයිඩ් හි සුඛෝපභෝගී කාමරයකය.
පොලිසිය පැවසුවේ සැකකරු සිකුරාදා සවස සිට සෙනසුරාදා අලුයම 5 පමණ වනතුරු සමාජ ශාලාව තුළ රැඳී සිට ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ සිටි කාන්තාවන් තිදෙනා රාත්‍රී සමාජ ශාලාවේදී ඔහුට හමුවූ අය බවය.
මෝටර් රථයේ ගමන් කළ කාන්තාවකට එම අනතුරින් පසු එහි සිටි පිරිසක් විසින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය විය.
කිසිවකුට නීතිය අතට ගත නොහැකි බව පවසන, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොල්ලුපිටිය පොලීසිය අදාළ කාන්තාවට පහර දුන් අය හඳුනා ගැනීම සඳහා ද විමර්ශන ආරම්භ කර ඇති බව ද පවසයි.
ඒ අනුව, අනතුරට සම්බන්ධ මෝටර් රථයේ ගමන් කළ කාන්තාවකට පහරදීමේ චෝදනාව මත මාර්ග පිරිසිදු කිරීමේ නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අදාළ කාන්තාවට පහර දෙන තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.