ආර්ථික ස්ථායීකරණ කමිටුවෙන් ජනතාවට ඩිජිටල් වේදිකාවක්! – පාර්ලිමේන්තු තොරතුරු තාක්ෂණ ඒකකයේ වැඩක්.

 ආර්ථික ස්ථායීකරණ කමිටුවෙන් ජනතාවට ඩිජිටල් වේදිකාවක්! – පාර්ලිමේන්තු තොරතුරු තාක්ෂණ ඒකකයේ වැඩක්.

පාර්ලිමේන්තු ආර්ථික ස්ථායිකරණ අනුකමිටුවට අදාළ අදාළ තොරතුරු ජනතාව සමඟ සම්බන්ධ කරගැනීමේ අරමුණ ඇතිව කමිටුවට අදාල ‘වෙබ් අඩවිය’ අද (08) දින ජනගත කරනු ලැබිණ.

පාර්ලිමේන්තුවේ කටයුතු, දියවන්නාවෙන් ඔබ්බට ගෙන යාමේ පළමු පියවරක් ලෙස මෙම ඩිජිටල් වේදිකාවට විශේෂයෙන්ම තරුණ ප්‍රජාව සම්බන්ධ කර ගැනීම අරමුණ වන බව මේ සඳහා සම්බන්ධ වෙමින් ආර්ථික ස්ථායිකරණ අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේය.

පාර්ලිමේන්තු තොරතුරු පද්ධති හා කළමනාකරණ අධ්‍යක්ෂක මහේෂ් පෙරේරා මහතා හා පාඨලී චම්පික රණවක මහතා එක්ව වෙබ් අඩවිය ජාල ගතකරනු ලැබිණ.

ඉන් අනතුරුව මෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව මහේෂ් පෙරේරා මහතා අදහස් දක්වමින් පවසා සිටියේ අදියර 4ක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම වෙබ් අඩවිය මගින් ජනතාවට, ආර්ථික ස්ථායිකරණ අනුකමිටුව හරහා සිදුකරණ කටයුතු පරිශීලනය කිරීමේ හැකියාව මෙන්ම කමිටුව මගින් යොමුකරනු ලබන ප්‍රශ්නාවලිය සඳහා පාර්ලිමේන්තු වෙබ් පිටුව හා ලියාපදිංචි වීම තුළින් පිළිතුරු සැපයීමේ හැකියා පවතින බවයි.

එමෙන්ම මෙම පද්ධතිය පාර්ලිමේන්තු ප්‍රධාන වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන අතර අදියර හතරක් යටතේ රටේ විවිධ පාර්ශව වලට සම්බන්ධ විය හැකි පරිදි නිර්මාණය කොට ඇති අතර කිසිදු බාහිර මෘදුකාංගයක් මගින් සම්බන්ධ වීමට අවශ්‍ය නොවී අන්තර්ජාලය හරහා සම්බන්ධ විය හැකි සරල පද්ධතියකින් සමන්විත වේ.

මෙහි සියලු නිර්මාණ කටයුතු හා තාක්ෂණික කටයුතු පාර්ලිමේන්තුවේ තාක්ෂණික අංශය විසින් සිදුකර ඇති අතර ඒ සඳහා කිසිදු මුදලක් වැය නොවීමද විශේෂත්වයකි. එමෙන්ම මේ හරහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට, සභික මන්ත්‍රීවරුන්ට හා ප්‍රවීණයන්ට අනු පද්ධතීන් තුනක් යටතේ මෙම පද්ධතිය හා සක්‍රිය දායකත්වයක් ලබා දීමට හැකියව ලැබේ.

වෙබ් අඩවිය: https://nationalcouncil.parliament.lk/index.php?lan=si

එච්.ඊ. ජනකාන්ත සිල්වා,

අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන)

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව.

072 366 9163

Newspedia 02

Related post