PUCSL සභාපති ඕනෑවට වැඩි! – විදුලි බිල වැඩි කළ යුතුමයි! – ජනාධිපති

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ බලය ඇත්තේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට හා කැබිනට් මණ්ඩලයට බවත් එයට එරෙහි වන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුතුද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කවුරුන් අකමැති වුවත් විදුලි ගාස්තු වැඩි කිරීම සිදු කළ යුතු බවත් රට ගැන සිතා ජනප්‍රිය නොවන තීන්දු ගතයුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් එහිදී පවසා සිටියේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ‘ට්‍රිලියම් සමාගමේ සභාපති’ බවත් විදුලි බිල වැඩි වූවහොත් ඔහුගේ ව්‍යාපාර වලට බලපාන බැවින් විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිවන බවයි.
අද පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලදී.
“මේකේ බලය තියෙන්නේ කැබිනට් එකටයි ඇමතිතුමාටයි.මමයි මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත හැදුවේ. ඒහි බලතල මම දන්නවා. මේක තියෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේ.
මම දන්නේ නෑ ඇයි ජනතාව නොමග යවන්නේ කියලා. මේ සභාපතිතුමාව හමුවෙන්න තියෙනවා. මට දැන් ඒතුමා ගැනත් කරපු ප්‍රකාශ ගැනත් පැමිණිලි කිහිපයක් ලැබිලා තියෙනවා.
මෙයා කියනවා විදුලි ගාස්තුව වැඩි කරන්න දෙන්නේ නෑ කියලා. කොහොමද ආර්ථිකය ගෙන්වන්නේ. එතුමට ඒ ගැන බලයක් නෑ. එතුමට තියෙනවා ව්‍යාපාර විදුලි බිල වැඩිවුණාම එතුමගේ වියදම් වැඩිවෙනවා.
එතුමට කියන්න තිබුණේ, ‘මට මේක බලපානවා. මම ට්‍රිලියම් සමාගමේ සභාපති මේක වැඩිවුණොත් මට බලපානවා. ඒ් නිසා මම මේ රැස්වීමට එන්නේ නෑ’ කියලා. මේකේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි.
මන්ත්‍රීවරුන් තීරණය කරන්න ඕන මොකද කරන්නේ කියලා. මේ වගේ හිතලා ඉදිරියට යන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. ජනතා කොමිෂමක සභාපති ලෙස ඔබ දැන ගන්න ඕන කොහොමද හැසිරෙන්නේ කියලා. ඒච්චරයි මම කියන්නේ. මටත් එහෙම එකක් තිබුණනම් මමත් කැමති නෑ විදුලි බිල වැඩි කරන්න. මට දැන් ගෙයක් නෑ.”