Sunday Times කතුවරයාට කතානායකගෙන් දැඩි අවවාද

 Sunday Times කතුවරයාට කතානායකගෙන් දැඩි අවවාද

වඩාත් වගකීමෙන් හා නිරවද්‍යතාවයෙන් යුතුව සත්‍ය අසත්‍යතාව සොයා බලා පුවත් වාර්තා කරන ලෙස ‘Sunday Times‘ කර්තෘවරයාට තරයේ අවවාද කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

2022 දෙසැම්බර් 04 වැනි ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ‘Committee rejects move to increase retirement age of Parliament Secretary General’ (පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කිරීමට ගෙන ඇති පියවර කමිටුව ප්‍රතික්ෂේප කරයි) යන ශීර්ෂය යටතේ පළ වූ පුවත් ලිපිය අවධාරණය කරමින් කථානායකවරයා නිවේදනය කළේ එය අසත්‍ය ප්‍රවෘත්තියක් බව ය.

පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ විශ‍්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් තම ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභා රැස්වීමේදී කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව කථානායකවරයා පවසයි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ විශ්‍රාම යන වයස පමණක් එදින සාකච්ඡාවට ගත් බව කථානායක කාර්යාලය පසුගියදා අවධාරණය කළේය.

එම පුවත්පත් ලිපියේ සඳහන් පරිදි පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවද කථානායකවරයා දැනුම් දුන්නේය.

කථානායකවරයාගේ ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් සිය එකඟතාව පළ කරමින් සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ඉහත පුවත්පත් ලිපියේ සඳහන් සියලු කරුණු අසත්‍ය බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ පොදුවේ පාර්ලිමේන්තු සේවකයන්ගේ විශ්‍රාම යෑමේ වයස කවර මට්ටමකින් සලකා බැලිය යුතුද යන්න පිළිබඳව සාකච්ඡා කළ බවය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මහලේකම්වරයා හෝ ඔහුගේ කාර්ය මණ්ඩලය පිළිබඳව එකදු වචනයක්වත් සාකච්ඡා නොකළ බව ඔහු පැවසීය. එබැවින් මෙම පුවත්පත් වාර්තාවට වගකිව යුතු පුද්ගලයන් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවන ලෙස සභානායකවරයා ඉල්ලා සිටියේය.

ඉහත සඳහන් කළ පුවත්පත් ලිපිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ අදාළ රැස්වීමේදී පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ විශ්‍රාම යන වයස පිළිබඳව කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බවත් පොදුවේ පාර්ලිමේන්තු සේවකයින්ගේ විශ්‍රාම යන වයස පමණක් සාකච්ඡා වූ බවත්ය.

සභානායක සුසිල් ප්‍රේමජයන්ත, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරු එම කාර්ය මණ්ඩල උපදේශක කමිටු රැස්වීමට එක්ව තිබේ.

Newspedia 02

Related post