බඩගින්න දරාගන්න බැරිව අරණායක ආච්චි කෙනෙක් සියදිවි නසාගන!

 බඩගින්න දරාගන්න බැරිව අරණායක ආච්චි කෙනෙක් සියදිවි නසාගන!

ආර්ථික දුෂ්කරතා ඉවසා දරාගත නොහැකිව වයෝවෘද්ධ මවක් සිය දිවි හානි කරගෙන ඇති පුවතක් අද ලංකාදීප පුවත්පත වාර්තා කොට තිබේ.

අරණායක පොලිස් වසමේ බොස්සැල්ල කළුගල පදිංචිව සිටි මෙම 74 හැවිරිදි වයෝවෘද්ධ මව හා ඇයගේ සැමියා දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවත්ව ඇති අතර ඔවුන්ට මසකට මුදලක් ලෙස ලැබී ඇත්තේ වැඩිහිටි දීමනාව වන රු. 1900ක් සහ ගොවි විශ්‍රාම වැටුප ලෙස ලැබෙන රු. 1950ක මුදල පමණක් බව පැවසේ.

ඔවුනට සිටි එකම දියණිය විවාහයෙන් පසු රඹුක්කන ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති බවත් පැවසේ.

ජීවත් වීම සඳහා නිසි ආහාරයක් ලබාගැනීමට නොහැකි වීමෙන් තම බිරිඳ නිතර කනස්සල්ලෙන් සිටි බවත් මේ හේතුවෙන් නිවසේ තිබූ වස වර්ගයක් පානය කර ඇය දිවිනසා ගෙන ඇති බවත් සැමියා පවසා ඇති බව එම පුවත්පත වාර්තා කරයි.

මියගිය 74 හැවිරිදි මවගේ පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිසංසලා ජයවීර විසින් පවත්වා ඇති අතර කෑගල්ල හදිසි මරණ පරීක්ෂක කිත්සිරි රණසිංහ මහතාද මෙම මව වස වර්ගයක් පානය කිරීම නිසා සියදිවි නසාගෙන ඇති බව තහවුරු කර ඇති බව වාර්තා වේ.

Newspedia 02

Related post