හොර ලේඛණවලින් කතුන් ඕමාන් යැවූ ‘උම්මා අක්කා’ කොටුවෙයි

 හොර ලේඛණවලින් කතුන් ඕමාන් යැවූ ‘උම්මා අක්කා’ කොටුවෙයි

ව්‍යාජ ලිපිලේඛන යොදාගනිමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයට යැවීමේ ජාවාරමක නිරත වූ බව කියන ‘උම්මා අක්කා’ නමැති කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ රැකියාලාභීන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයෙහි අලවනු ලබන ආරක්ෂිත මුද්දර ව්‍යාජ අයුරින් යොදාගෙන ඕමානයට විදේශගතවීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු පසුගියදා කටුනායක ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණි.

පසුව ඔවුන් දෙදෙනාව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට යොමුකර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණි.

එහිදී ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී කොළඹ ආදුරුප්පු වීදියේ ‘උම්මා අක්කා’ නමැති කාන්තාවක් පිළිබඳව තොරතුරු හෙළිව තිබේ.

යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවන් දෙදෙනා විදේශ ගතවීමට අවශ්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා මෙම කාන්තාවගේ නිවසේ මාස එකහමාරක පමණ කාලයක් නැවතී සිට ඇත.

මොවුන් දෙදෙනාට විදේශගතවීමට අවශ්‍ය සියලු කටයුතු මෙම උම්මා අක්කා නම් කාන්තාව සිදුකර දී ඇති අතර විදේශ සේවා නියුක්ති කාර්යාංයේ විශේෂ විමර්ශන නිලධාරීන් පසුගිය දා ඇයව අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට පත් මෙම කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව මීට තවත් පුද්ගලයකු සම්බන්ධ බව පවසා ඇතත් ඔහුගේ තොරතරු විමර්ශන නිලධාරීන්ට පැවසීමට ඇය අපොහොසත් වී ඇත.

සැකකාරිය මීගමු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Newspedia 01

Related post