අඹු සැමි යුවළක් කපා කොටයි, සැමියා මරුට

 අඹු සැමි යුවළක් කපා කොටයි, සැමියා මරුට

හික්කඩුව, වෑවල ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අඹු සැමි යුවළකට තියුණු ආයුධවලින් කළ පහර දීමකින් සැමියා මියගොස් බිරිද බරපතළ කැපුම් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි හික්කඩුව පොලිසිය පවසයි.

අද (නොවැ. 30) පස්වරුවේ කළු පැහැති මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් එම පහර දීම සිදු කරනු ලැබ ඇත.

ඝාතනයට ලක් වී ඇත්තේ හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු සංචාරක කර්මාන්තයේ නිරත අයෙකු බව අප වාර්තාකරු පැවසීය.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සිය බිරිද සමග අදාළ අවන්හල ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු තියුණු ආයුධවලින් එම යුවළ කපාකොටා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

දෙපාර්ශවයක් අතර කලක පටන් පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය පවසයි.

මීට වසර 4කට පමණ ඉහතදී ඝාතනයට ලක්වු පුද්ගලයා විසින් ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ අයෙකු කපාකොට බරපතළ තුවාල සිදු කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.

ඊට පළිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලිසිය විශ්වාස කරයි.

ඝාතකයින් පැමිණි මෝටර් රථය මාර්ගයේ අතරමග දමාගොස් සිටියදී පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇති බව ද පැවසේ.

හික්කඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මව්බිම

Newspedia 01

Related post