රටට සම්පතක් වූ අරුවක්කාලු කසල ව්‍යාපෘතිය නැවත අරඹයි..

 රටට සම්පතක් වූ අරුවක්කාලු කසල ව්‍යාපෘතිය නැවත අරඹයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය තුළ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොළඹ නගරෙයේ එකතුවන කුණු කසළ වලට විසදුමක් සොයනවා වෙනුවට මීතොටමුල්ලට කුණු කසළ බැහැර කිරීම හේතුවෙන් අති විශාල කුණු කන්දක් නිර්මාණය වූ අතර 2017 වර්ෂයේදී එය පුපුරා යාමෙන් ජිවිත පවා අහිමි වූ මතකයක් අපට පවතී.

මෙයට හොඳම විසදුමක් ලෙස ඉන් පසුව පත්වූ යහපාලන රජය තුලදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ එවකට අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මහතාගේ මෙහෙය වීමෙන් මෙරට හා විදේශීය ඉංජිනේරුවන්ගේ මැදිහත්වීමෙන් විදිමත් කසළ බැහැර කිරීමක් හා එමගින් රටට අතුරු සම්පත් නෙලා ගැනීමේ අරමුණෙන් අරුවක්කාලු කසල ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

එමෙන්ම පුපුරා ගිය මීතොටමුල්ලට කුණු කන්ද උද්‍යානයක් කිරීමට පවා නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන ලදී.

නමුදු යහපාලන රජයේ බලය නැවත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට හිමිවීමත් සමඟ අරුවක්කාලු කසල ව්‍යාපෘතිය සඳහා වෙන්කරන ලද මුදල් නවතා දැමීම සිදුවූ අතර එහි කටයුතු මන්දගාමිව සිදුවිය. මේ වනවිටත් එහි වැඩකටයුතු 90% ක් පමණ අවසන් වී පවතී. එමෙන්ම මීතොටමුල්ලට කුණු කන්ද උද්‍යානයක් කිරීමේ ව්‍යාපෘතියද ඒ සමඟ නැවතින.

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව සේම කොළඹ කුණු කසළ ප්‍රවාහනය කිරීමෙන් ලාභ ලබන කොළඹ නගර සභාවේ ඉහළ මුටුවල සිටින්නන්ද මෙම රටට වැඩදායි ව්‍යාපෘතිය නවතා ලීමට කටයුතු කල අතර වරෙක කුණු කසළ අරුවක්කාලුව කරා ගෙන ගිය ටිපර් රථවලට ගල් ගැසීමේ ක්‍රියාවන්ද සිදුකර තිබීම අපට සිහිපත් කළ දිය හැක.

නමුදු මේ වනවිට යළිත් අරුවක්කාලු කසල ව්‍යාපෘතියේ ඉතිරි කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබේ. රටට වැඩදායි මෙවන් ව්‍යාපෘති තම පෞද්ගලික ලාභ ප්‍රයොජන පසෙකලා සිදුකිරීමට පෙළඹීම සතුටට කරුණකි.

මේ ඒ පිළිබඳව මාධ්‍ය අංශය විසින් පලකළ පුවතක්…

අරුවක්කාලු කසල ව්‍යාපෘතිය විධිමත්ව නැවත කඩිනමින් ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි.

රටේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය දැනට තාවකාලිව නතර කර තිබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, අරුවක්කාලු කසල ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමට තමන් ඉදිරියේදී මහාභාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදය පිළිබදව අමාත්‍යංශ නිළධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට සහභාගී වෙමින් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙම සාකච්ඡාව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී පැවැත්විණි.

2017 වසරේ අප්‍රේල් මාසයේදී මීතොටමුල්ල කසල කන්ද ගිලා බැසීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගිය අතර නිවාස සිය ගණනක් විනාශයට පත්විය. මේ හේතුවෙන් කොළඹ නගරයේ කසල අපහරණය සහ කසළ කළමනාකරණය පිළිබඳව විධිමත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.

කොළඹ අග නගරයේ දෛනිකව එකතු වන කසල මෙට්ට්‍රක් ටොන් 1200 ක් පමණ කැලණිය, වනවාසල සිට කිලෝ මීටර 170 ක් පමණ දුරින් පිහිටි පුත්තලම, අරුවක්කාලු කසල අංගනය දක්වා දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු වෙයි.

වර්තමානයේ අරුවක්කාලු කසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේයි. මේ සදහා ඇස්තමේන්තු කර ඇති මුදල ඩොලර් මිලියන 130 කි. අරුවක්කාලු කසල අංගනය සහ කැළණිය, වනවාසල අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානය යන අංගන දෙකෙහි ඉදිකිරීම් මේ වන විට 90% ක් පමණ අවසන් කර තිබේ. චීන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් මෙහි ඉදිකිරීම් කටයුතු කරනු ලබයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණයක් සාක්ෂාත් කල හැක්කේ පුද්ගලික ලාභය වෙනුවට මානව අවශ්‍යතා මත කටයුතු කිරීමෙන් පමණක් බවයි. එබැවින් දේශපාලන මතය කුමක් වුවත් මෙවැනි හොඳ ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කළ යුතු බවද හෙතෙම සඳහන් කරයි.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු සහ තේනුක විදානගමගේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනිල් විජේසිරි, අරුවක්කාලු කසළ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක සරත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

ප්‍රදීප් අනුර කුමාර
මාධ්‍ය අංශය

Newspedia 02

Related post