ගෝඨාගේ ‘සැහැල්ලු දුම්රිය’ කෙරුවාවේ පාඩුව රුපියල් බිලියන 10.6ක්!

 ගෝඨාගේ ‘සැහැල්ලු දුම්රිය’ කෙරුවාවේ පාඩුව රුපියල් බිලියන 10.6ක්!

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය නවතා දමන ලදී.

මෙරට සැහැල්ලු දුම්රිය මාර්ග සංක්‍රමණ ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ පළමු පියවර ලෙස මාලබේ සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබු අතර එය 2019 වර්ෂයේ ආරම්භ කොට 2026 වර්ෂයේ දී අවසන් කිරීමට නියමිතව තිබුණි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය නවතා දැමීම හේතුවෙන් ඒ වනවිට වැයකොට තිබු රුපියල් මිලියන 10,677ක මුදලක් අපතේ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව හා ජපන් – ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමග එළඹ තිබු ණය ගිවිසුමකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භකොට තිබුණි.

මෙම ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් ජයිකා (JICA )සහ OCGJV යන ආයතනවලට වන්දි ගෙවීම සම්බන්ධව 2022 ජුනි මස 28 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කොට කර එම වන්දි මුදල් ගෙවීමද සිදුකර තිබේ.

මෙම ව්‍යාපෘතියේ ණය කාල සීමාව වසර 12ක සහන කාලයක්ද ඇතුළත්ව වසර 40ක් වූ අතර, කොටස් දෙකකින් ණය ගෙවීමට ණය ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජය එකඟවී තිබු බව විගණන කාර්යාලය වාර්තාව පවසයි.

2022 අගෝස්තු මස 15 වැනිදින මෙකී ව්‍යාපෘතිය නතර කිරීමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය තීරණය කරන ලදී.

Newspedia 02

Related post