අබුඩාබියට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළුව : එක් අයෙක් අත්අඩංගුවට!

 අබුඩාබියට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළුව : එක් අයෙක් අත්අඩංගුවට!

විදේශ රැකියා ලබාගැනීමේ අපේක්ෂාවෙන් අබුඩාබියට පැමිණි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකුගේ සිද්ධිය සම්බන්ධයෙන් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අවධානය යොමුව ඇතැයි අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

තානාපති කාර්යාල නිලධාරීන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොලිස් බලධාරීහු ඔවුන් සිටි ස්ථානයට ගොස් එහි සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු සොයා ගත් බව අමාත්‍යාංශය පවසයි.

එම ශ්‍රී ලාංකිකයන්ගෙන් තානාපති කාර්යාල නිලධාරීන් සහ පොලිස් බලධාරින් විසින් කරන ලද විමසීම්වලින් අනතුරුව ඔවුන් ප්‍රකාශ ලබා දී ඇත්තේ තමන්ට ගැටළු හෝ පැමිණිලි නොමැති බවයි. ඔවුන්ගෙන් එක් අයෙක්, නැවත ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කර තිබුණි.

කෙසේ වෙතත් පසුගිය 15 වැනි දින නිසි නීතිමය සහ සංක්‍රමණ ක්‍රියා පටිපාටි අනුගමනය නොකරමින් ඔවුන් ඕමානය බලා පිටත්ව ගොස් ඇති බවද අමාත්‍යාංශය කියයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටින අතර ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සහතික කිරීමට පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Update:
කාන්තාවන් ඩුබායි හි සේවයට යවා නීති විරෝධී ලෙස ඕමානයට රැගෙන ගිය පුද්ගලයෙකු අද (19) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) රෙගුලාසිවලට පටහැනිව නීතිවිරෝධී ලෙස පුද්ගලයින් විදේශගත කරන මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක වන මෙහෙයුම් දැඩි කරන ලෙස උපදෙස් දී තිබේ.

දිවයින පුරා වැටලීම් සිදුකිරීමට තීරණය විය.

කාන්තාවන් ඕමානයේ සේවයට රැගෙන ගිය පුද්ගලයාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබුණා.

ඒ අනුව සැකකරු අද පෙරවරුවේ අබුඩාබියේ සිට ගුවන් තොටුපළට ගොඩබැසීමේදී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන කටුනායක පොලිසියට භාර දී තිබේ.

සැකකරු 44 හැවිරිදි විදේශ රැකියා නියෝජිතායතන හිමිකරුවෙකි.

කටුනායක පොලිසියේ සහය ඇතිව ගුවන්තොටුපළේදී සැකකරු අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් පසුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම පුද්ගලයාට එරෙහිව මිනිස් ජාවාරම් චෝදනා ගොනු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) තවත් පරීක්ෂණයක් ද පවත්වයි.

Newspedia 01

Related post