Debt-for-nature ගැන පාඨලී කී කතාව U.N. COP27 සමුළුවේදී කතාබහට

ශ්‍රී ලංකාව “debt-for-nature” ඩොලර් බිලියන 1 දක්වා swap හුවමාරු ගනුදෙනුවක් සඳහා සාකච්ඡා කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඊජිප්තුවේ පැවැත්වෙන U.N. COP27 සමුළුවේදී ලෝක නායකයන් සමඟ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කරන බව පැවසේ.
රොයිටර් පුවත් සේවය පවසන්නේ, ශ්‍රී ලංකාව, ඉක්වදෝරය සහ කේප් වර්ඩ් ඇතුළු තවත් රටවල් කිහිපයක් අතර “debt-for-nature” හුවමාරු ගනුදෙනුවක් ගැන සාකච්ඡා කරන බවය.
මේ ආකාරයේ ණය හුවමාරුවකට විදේශ ණය මිලදී ගැනීම, එම ණය දේශීය මුදල් බවට පරිවර්තනය කිරීම සහ ඉන් ලැබෙන ආදායම සංරක්ෂණ කටයුතු සඳහා යෙදවීම ඇතුළත් වේ.
ගනුදෙනුව රඳා පවත්නේ සාමාන්‍යයෙන් මුල් ණය මුදලේ සම්පූර්ණ වටිනාකමට වඩා අඩුවෙන් ණය විකිණීමට වාණිජ බැංකු හෝ රජයන් දක්වන කැමැත්ත මතය.
ඉක්වදෝරය බැංකු සහ ලාභ නොලබන කණ්ඩායමක් සමඟ සාකච්ඡා පවත්වමින්, එහි ණය ඩොලර් මිලියන 800ක් පමණ ලාභදායී ලෙස ප්‍රතිමූල්‍යකරණය කර සංරක්ෂණ ප්‍රයත්නයන් සඳහා ඉතිරිකිරීම් නිදහස් කර ගැනීමේ ගනුදෙනුවකට එළඹීමට උත්සාහ කරයි. එය එසේ සිදුවුවහොත්, එම මට්ටමින්, එය අද දක්වා ඇති විශාලතම Debt-for-nature Swap හුවමාරුව වනු ඇත. එහෙත්, එම සාකච්ඡා සම්බන්ධයෙන් අවධානය යොමු කරන පාර්ශව සඳහන් කරන්නේ බිලියන 1 ක් දක්වා ගනුදෙනුවක් ගැන සාකච්ඡා කරමින් සිටින ශ්‍රී ලංකාව ඇතුළු අනෙක් රටවල් විසින් එය අවසානයේ ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාවක් පවතින බවය.
මේ අතර, බටහිර අප්‍රිකාවට ඔබ්බෙන් පිහිටි දූපත් සමූහයක් වන කේප් වර්ඩ් ඩොලර් මිලියන 200 ක් දක්වා වටිනා “debt-for-nature” හුවමාරුවකට සූදානමින් පසුවන බව අප්‍රිකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික කොමිසමේ (UNECA) සේවය කරන ජීන් පෝල් ඇඩම් පැවසීය.
Debt-for-nature Swap හුවමාරුව දියුණු යැයි සම්මත රටවල කාබන් දහනය වැනි පරිසර අහිතකර බලපෑම්වලට සමගාමීව ශ්‍රී ලංකාව වැනි රටවල පවත්නා අවම පරිසර හානි වෙනුවෙන් ලබා දිය හැකි ප්‍රතිලාභ සම්බන්ධයෙන් වන මූල්‍යමය පහසුකමකි.
මේ ‘“debt-for-nature” සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මින් පෙර අදහස් දැක්වීමක් සිදු කළ අතර, ඊට අදාළ වීඩියෝව පහතින් දැක්වේ. එම වීඩියෝවෙන් මෙම සංකල්පය පිළිබඳ ඔබට වැඩි දුර දැනුවත් විය හැක.