හිරුණිකාගේ තවත් නඩුවකට අද වෙච්චි දෙයක්!

පොලීසියේ රාජකාරියට බාධා කළ බවට වූ චෝදනාවේ නඩුවෙන් ඇප ලැබූ හිරුණිකාගේ අනෙක් නඩුව අද කැඳවීය.
ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා වධහිංසාවට ලක් කළේ යැයි චෝදනා එල්ලවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුවේ විභාගය ජනවාරි 30 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරිණ.
එම අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ වීඩියෝ සාක්ෂි දෙකක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල සූදානම් බවත් එම වීඩියෝ සාක්ෂිවල අන්තර්ගතය අධ්‍යයනය කිරීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවත් ය.
ඒ අනුව අද දින නඩු විභාගය කල්තබන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලීය.
එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විභාගය දැනටමත් වසර හයක් පමණ ප්‍රමාදවී ඇති බව සඳහන් කළේය.
කෙසේ වෙතත් විනිසුරු අමල් රණරාජා මහතා සඳහන් කළේ මෙම නඩු විභාගය අවසන් වශයෙන් ජනවාරි මස 30 වනදා දක්වා කල්තබන බවය.
එදින නඩුව අනිවාර්යෙන්ම විභාගයට ගන්නා බවත් විනිසුරුවරයා නියෝගකර සිටියේය.
2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැළක සේවය කළ අමිල ප්‍රියංක නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා වධහිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.
මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් අට දෙනෙකු මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ට අධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් නියමකර තිබුණි.