අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් මන්ත්‍රීවරුන්ගෙන් මුදල් පරිත්‍යාගයක්

 අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් මන්ත්‍රීවරුන්ගෙන් මුදල් පරිත්‍යාගයක්

ඉකුත් මැයි මස 9 වැනිදා කළහකාරීන් විසින් ඝාතනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මුදල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.

ඒ අනුව, රුපියල් අනූලක්ෂ විසිපන්දහසක මුදල අමරකීර්ති අතු‍කෝරාළගේ බිරිඳ වෙත ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසින් අදාළ චෙක්පත ජනාධිපතිවරයාට භාරදෙනු ලැබූ අතර අනතුරුව ජනාධිපතිවරයා විසින් චෙක්පත අමරකීර්ති අතුකෝරාළගේ බිරිඳ සහ පුතණුවන් වෙත ප්‍රදානය කළ බවය.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 183 දෙනෙකු මුදල් පරිත්‍යාග කර ඇති අතර මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින ආණ්ඩු පක්ෂ පර්ලිමේන්තු මන්ත්‍රීවරු 20 දෙනෙකුගෙන් සමන්විත “මාදිවෙල සංවිධානය” විසින් අමරකීර්ති අතුකෝරාළ වෙනුවෙන් මෙම අරමුදල් එකතු කිරීම ආරම්භ කළ බවත්, ඊට පසුව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඊට හිමිවීම සුවිශේෂී කරුණක් බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සඳහන් කර තිබේ.

Newspedia 01

Related post