කෝටි ගණන් මුදල් වංචා කළ හතරක් අල්ලයි.

 කෝටි ගණන් මුදල් වංචා කළ හතරක් අල්ලයි.

ඩොලර් වංචා ඇතුළු මූල්‍ය වංචා සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව බදාදා (09) මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් ප්‍රදේශ කිහිපයක පුද්ගලයන්ට මුදල් හා වාහන අමතර කොටස් අඩු මිලට ලබා දෙන බවට පොරොන්දු වී මුදල් වංචා කර ඇත.

වින්දිතයන් මුදල් රැගෙන එකඟ වූ ස්ථානයට පැමිණීමෙන් පසු සැකකරුවන් එම මුදල් සොරාගෙන එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මීට අමතරව ඔවුන් ඩොලර් ලබාදෙන මුවාවෙන් යාපනයේ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක් සහ ලක්ෂ 18ක් වංචා කර තිබේ. එම පොරොන්දුව මතම ගාල්ල ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 10.8ක් වංචා කර තිබේ.

සැකකරුවන් යාපනය, අනුරාධපුරය, කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර ප්‍රදේශවල මෙවැනි මංකොල්ලකෑම්වලට සම්බන්ධ වී ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් ත්‍රිකුණාමලය, තලවකැලේ සහ අනුරාධපුර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33ත් 53ත් අතර පසුවන්නන් බවට හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් සන්තකයේ තිබී අමෙරිකානු ඩොලර් 825ක් සහ රුපියල් මිලියන 2.8ක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් ඊයේ (10) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Newspedia 01

Related post