වියට්නාමයේ අනතුරට පත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික පිරිසට මොකද වෙන්නේ?

 වියට්නාමයේ අනතුරට පත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික පිරිසට මොකද වෙන්නේ?

වියට්නාම මුහුදු සීමාවේදී මුදාගත් ශ්‍රී ලාංකිකයන් 300කට අධික පිරිස නැවත ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය වියට්නාම බලධාරීන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික කතාබහක් ආරම්භ කර ඇති බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.

මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස වියට්නාමය වෙත ගෙනයමින් පවතින බවත්, සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය වෙත භාරදීමට නියමිත බවත් අමාත්‍යවරයා පවසයි.

මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ ඊයේ (07) අනතුරට පත් යාත්‍රාවක් පිළිබඳව සිංගප්පූරු බලධාරීන් විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට දැනුම් දී ඇති බවය.

යාත්‍රාවට ආධාර ලබාදීමට එකඟ වූ නමුත් එතැන් සිට වෙනත් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

සඳුදා (07) ස්ප්‍රැට්ලි දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදේදී ශ්‍රී ලාංකිකයන් 300 කට වැඩි පිරිසක් ජපන් නෞකාවක් මගින් බේරා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ මැදිහත්වීම සිදු විය.

වියට්නාම පුවත්පතක් වන VN එක්ස්ප්‍රස් ඉන්ටර්නැෂනල් වාර්තා කළේ ඔවුන්ගේ ධීවර යාත්‍රාවට අලාභහානි වී දියේ ගිලී යාමෙන් පසුව පිරිස බේරා ගත් බවයි.

වියට්නාමයේ සමුද්‍ර සෙවීම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙකු සමඟ මියන්මාර ධජය සහිත ආර් 3 නෞකාව කැනඩාව බලා යාමට නියමිත ව සිටියදී මෙම අනතුරට මුහුණ දුන් බවය.

නොවැම්බර් 5 වන දින, එය දකුණු වෙරළ තීරයේ Vung Tau සිට නාවික සැතපුම් 258 ක් පමණ ඔබ්බෙන් වූ විට, එහි එන්ජින් කාමරය ජලයෙන් යට වී යාත්‍රාව ගසාගෙන යාමට පටන් ගත්තේය. ඒ කාලයේ මුහුද රළු විය.

පසුව එම මධ්‍යස්ථානය නෞකාව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර අවට ඇති අනෙකුත් නැව්වලට හදිසි සංඥා ද විකාශනය කළේය.

පිරිමින් 264 ක්, කාන්තාවන් 19 ක් සහ ළමුන් 20 ක් ආරක්ෂිතව සිටින අතර අඟහරුවාදා වන විට Vung Tau වෙත ළඟා වීමට අපේක්ෂා කරන බව VN Express International වැඩිදුරටත් පවසයි.

Newspedia 01

Related post