අත්අඩංගුවට පත් ධනුෂ්කට ලිංගික අපරාධ චෝදනා 04 ක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (05) දිනයේ දීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ බව සනාථ කළ අතර, කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුවයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මීට සති තුනකට පෙර ඇති වූ ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක වෙනුවට කණ්ඩායමට අශේන් බණ්ඩාර කැඳවූ අතර, ඔහුව ශ්‍රී ලංකාවට නොඑවා සංචිතයේ තබා ගැනීමට ක්‍රිකට් බලධාරින් කටයුතු කළේය.
මේ අතර ධනුෂ්ක ගුණතිලක නොමැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට පිටත් විය.
ඊයේ සිඩ්නි පොලිසිය විසින් කාන්තාවක් සිදු කළ පැමිණිල්ලකට අනුව අත් අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලකට මේ වනවිට ස්ත්‍රීන් සම්බන්ධව ලිංගික චෝදනා 04ක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
dating app හරහා ධනුෂ්කට මුණගැසුණු 29 හැවිරිදි තරුණියකට ඔහු විසින් ලිංගික අතවර කළ බවට ඇය විසින් චෝදනා කර තිබේ.
සිඩ්නි නුවර පිහිටි රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී මෙම සිදුවීම සිදුව ඇති බවටත් The Australian වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්තා කර ඇත්තේ; ‘Sri Lankan cricket star charged over alleged Sydney rape’ යනුවෙන්.
31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු රැඳී සිට ඇත්තේ සසෙක්ස් වීදියේ හෝටලයක් තුළයි.
මේ වනවිට සසෙක්ස් ප්‍රාන්තයේ අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර ප්‍රදේශ විධානයේ රහස් පොලිසිය විසින් ඒකාබද්ධ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
අද පස්වරුවේ ධනුෂ්ක ගුණතිලකව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.