තිළිණි සම්බන්ධ වීඩියෝ පල කළ යූ ටියුබ් නාලිකාවකට එරෙහිව වාරණයක්..

 තිළිණි සම්බන්ධ වීඩියෝ පල කළ යූ ටියුබ් නාලිකාවකට එරෙහිව වාරණයක්..

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන Copreus Private Ltd සමාගම මගින් වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.

ඒ දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන ආන්දෝලනාත්මක ව්‍යාපාරික කාන්තාවක් වන තිළිණි ප්‍රියමාලි සහ Copreus Ltd අතර ඇති බව කියන සම්බන්ධයක් පිළිබඳ අනුමාන කිරීම් සහ ඇඟවුම් කරමින් YouTube නාලිකා ක්‍රියාකරුවන් දෙදෙනෙකු කිසිදු වීඩියෝවක් ප්‍රකාශයට පත් කිරීම වළක්වන ලෙස ඉල්ලමිනි.

‘ලයිෆ් ට්‍රැවලර්’ යූ ටියුබ් නාලිකාවේ හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් වන ආර්.ඒ.එම්.පී රත්නායක සහ ධනංජය නාරංබද්දට එරෙහිව කොළඹ දිසා අධිකරණය මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

මෙම නියෝගය නොවැම්බර් 14 දක්වා බලපැවැත්වේ.

ප්‍රධාන පෙළේ ගෝලීය සමූහ ව්‍යාපාරයක අනුබද්ධ සමාගමක් වන Copreus Ltd. මෙම නඩුව පවරා තිබුණේ මෙම YouTube නාලිකාවේ හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් දෙදෙනා විත්තිකරුවන් ලෙස නම් කරමිනි. Copreus පුද්ගලික සමාගම වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියේට්ස් මහතාගේ උපදෙස් මත නීතිඥ මනෝජ් බණ්ඩාර සහ නීතීඥ ජිනංජි සේනානායක පෙනී සිටියහ.

2018 දී ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත වූ Copreus Ltd, එම නමින්ම ගෝලීය සමූහ ව්‍යාපාරයක අනුබද්ධිත සමාගමක් වන අතර එය සුප්‍රසිද්ධ ජාත්‍යන්තර CFD ඊ-වෙළඳ වේදිකා දෙකක් වන www.finq.com සහ www.gulfbrokers.com සඳහා ඇතැම් BPO සේවා සපයන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගමකි.

පැමිණිල්ලට අනුව නඩුවේ විත්තිකරුවන් වන ආර්.ඒ.එම්.පී. රත්නායක සහ ඩබ්ලිව්.ඩී.ධනංජය නාරංබද්ද විසින් Copreus සම්බන්ධයෙන් වීඩියෝ දෙකක් The Life Traveler YouTube නාලිකාවේ පළකරමින් Copreus සහ පසුගිය දිනවල ප්‍රසිද්ධියට පත් වූ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් වන තිළිණි ප්‍රියමාලි අතර ඇති බව කියන සම්බන්ධයක් පිළිබඳ අනුමාන කිරීම් සහ ඇඟවුම් කර තිබිණ.

සීමාසහිත තිකෝ ගෲප් ලිමිටඩ් සමාගම හරහා තම ගනුදෙනුකරුවන්ට මූල්‍ය වංචාවක් සිදු කර රුපියල් මිලියන සිය ගණනක මුදලක් වංචා කළ බව කියන ඇය සම්බන්ධ බවට ඇයට එරෙහිව දිගින් දිගටම විමර්ශණ ක්‍රියාත්මක වෙයි.

Copreus යනු තිළිණි ප්‍රියමාලිට අයත් බව කියන සමාගමක් බව යූ ටියුබ් වීඩියෝ ඉදිරිපත් කරන්නා වන ධනංජය නාරංබැද්ද එම වීඩියෝවල ප්‍රකාශ කරන අතර Copreus සමාගම වංචා ඇතුළු නීති විරෝධී ක්‍රියාවල නිරත වන බවට චෝදනා කරයි. Copreus සම්බන්ධ Life Traveler වීඩියෝ YouTube සහ Facebook ඇතුළු තවත් සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක බහුලව නරඹා බෙදාගෙන තිබේ.

Copreus Ltd., විසින් The Life Traveler YouTube නාලිකාවේ ක්‍රියාකරුවන්ට, විශේෂයෙන්ම ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන ධනංජය නාරංබැද්දට එරෙහිව අධිකරණයේ ගොනු කළ අපහාස නඩුවේදී Copreus සහ තිළිණි අතර කිසිදු සම්බන්ධයක් නොවන බව අවධාරණය කරන Copreus එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව කොළඹ දිසා අධිකරණයට ප්‍රකාශ කළේය. ප්‍රියමාලි සහ ඔවුන් අතර ඇති සම්බන්ධයක් ඇති බවට වන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය, ද්වේෂසහගත, නොමඟ යවන සුළු වන අතර එය Copreus අපකීර්තියට පත් කිරීමක් බවට ඔවුන් තර්ක කරයි.

තම සමාගම සහ තිළිණි ප්‍රියමාලි අතර එවැනි සම්බන්ධයක් පවතින බවට ප්‍රකාශ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව පවසන Copreus මෙහි විත්තිකරුවන් ප්‍රසිද්ධිය උදෙසා Copreus අපකීර්තියට පත් කිරීමට උත්සාහ කරන බව අධිකරණයට කළ පැමිණිල්ලේ දී ප්‍රකාශ කර තිබේ.

R. A. M. P. රත්නායක සහ W.D ධනංජය නාරංබැද්ද යන අයට එරෙහිව දිසා අධිකරණ විනිසුරු පූර්ණිමා පරණගමගේ විසින් මෙම වාරණ නියෝගය ලබා දුන්නාය. ඒ එම විත්තිකරුවන්, ඔවුන්ගේ සේවකයන් සහ නියෝජිතයින්ට සමාජ මාධ්‍ය නාලිකාව හෝ වෙනත් ආකාරයකින්, Copreus සම්බන්ධ අදාළ වීඩියෝ දෙක, හෝ Copreus වෙත අපහාස වන වෙනත් ද්‍රව්‍ය දිගටම ප්‍රකාශ කිරීම සහ/හෝ ඒවා The Life Traveler YouTube නාලිකාවේ හෝ වෙනත් ඕනෑම ස්ථානයක ප්‍රකාශ කිරීමට, ප්‍රදර්ශනය කිරීමට හෝ සත්කාරකත්වය දැක්වීමට ඉඩ නොතබමිනි.

Newspedia 01

Related post