අමානුෂික නවක වදයට එරෙහිව සිසුවෙකුගෙන් පැමිණිල්ලක්!

නවක වදය දුන් බවට චෝදනා කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකට එරෙහිව එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙක් කිරිබත්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මෙම සිසුවා දේශන අවසන් කර ඊයේ පස්වරු 03.00 න් පසු ක්‍රීඩා කටයුතු සඳහා යමින් සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් මොහුට මුණ ගැසී ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඔහුගේ බාහිර පෙනුම නිසා රැවුල කපන ලෙසත්, සපත්තු වෙනුවට සෙරෙප්පු පැළඳීමටත්, අත් ඔරලෝසු පැළඳීමෙන් වළකින ලෙසත් ජ්‍යෙෂ්ඨයන් ඔහුට තර්ජනය කර තිබේ.
සිසුවා එය ප්‍රතික්ෂේප කිරීම නිසා ජ්‍යෙෂ්ඨයින් ඔහුව ආපන ශාලාවකට රැගෙන ගොස් ඇති අතර, එහිදී ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙකු ඔහුගේ මුහුණට සහ ශරීරයට පහර දී තිබේ.
පහරදීම සිදුවූ ස්ථානයේ ජ්‍යෙෂ්ඨයින් 07 දෙනෙකු සිටි බවත් ඔවුන් නමින් තමන් නොදන්නා නමුත් නැවත ඔවුන්ව දුටුවහොත් හඳුනාගත හැකි බවත් සිසුවා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
තුවාල ලැබූ සිසුවා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.