පෙර දැනුම් දීමකින් තොරව ළමා රෝහලේ කරන්ට් කපලා! – හිඟ බිල මිලියන 30යි!

 පෙර දැනුම් දීමකින් තොරව ළමා රෝහලේ කරන්ට් කපලා! – හිඟ බිල මිලියන 30යි!

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස තුනක විදුලිබිල නොගෙවීම හේතුවෙන් ඊයේ (26) රෝහලේ එක් කොටසක විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇතැයි රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

විදුලිය විසන්ධි කිරීමත් සමග රෝහලේ ආපනශාලව ඇතුළු අංශ කීපයක කටයුතු අඩාල වීම හේතුවෙන් රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩල සාමාජකයන් දැඩි අපහසුතාවට පත්වූ බව හෙතෙම පැවැසීය.

ජුනි, ජූලි සහ අගෝස්තු මාස සඳහා රුපියල් මිලියන 30ක මුදලක් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් පෙර දැනුම් දීමක් නොකර විදුලි විසන්ධි කිරීම බලවත් අසාධාරණයක් යැයි ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් විදුලිය විසන්ධි කර පැය කිපයකට පසුව විදුලි බිලෙන් මිලියන 16ක මුදලක් ගෙවීමෙන් අනතුරව නැවත විදුලිය ලබාදීමට ක්‍රියා කළ බවද හෙතෙම සඳහන් කළේය.

පසුගිය ජුනි සහ ජූලි මාසවලදී මිලියන 8 බැගින් මිලියන 16ක විදුලි බිලක් ලැබුණු නමුත් අගොස්තු මාසයේදී රෝහ‌‌ලේ විදුලි බිල රුපියල් මිලියන 13ක් වූ බව ඔහු පැවසීය.

විදුලි බිල ගෙවීම ප්‍රමාද වුවහොත් මින් ඉදිරියට රෝහලේ විදුලි විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරන බවට කළ අනතුරු ඇ`ගවීම මෙය යැයි එම ප්‍රකාශකයා පැවසීය.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපතිගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ විසන්ධි කළ විදුලිය බිලෙන් කොටසක් ගෙවීමෙන් පසුව නැවත සම්බන්ධතාව ලබාදීමට කටයුතු කළත් මෙය ඉතා බරපතල කරුණක් බවය.

රජයෙන් ලබාදෙන ප්‍රතිපාදන වැඩි නොවුණත් රෝහල් ප්‍රතිකාර සේවාවන් වැඩි වීම සහ විදුලි බිල වැඩිකිරීම හේතුවෙන් ඉදිරියේදීත් විශාල විදුලි බිලක් රෝහලට ගෙවීම සිදුවන බවද සේනාපති සඳහන් කළේය.

කෙසේ නමුත් රෝගී දරුවන්ගේ ජීවිත සමග කටයුතු කිරීමේදී අනෙකුත් රාජ්‍ය ආයතන වගකීමෙන් කටයුතු කළ යුතු බවද හෙතෙම පැවැසීය.

කෙසේ නමුත් දෛනිකව ළමා රෝගීක් 1000ට අධික පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන් බවත්, නේවාසික රෝගීන් 600ක් පමණ දෛනිකව ප්‍රතිකාර ලබන බවත් බරපතල මෙන්ම සාමාන්‍ය සැත්කම්ද විශාල සංඛ්‍යාවක් දෛනිකව සිදුරන බැවින් මෙම රෝහල කෙරෙහි වැඩි අවධානයක් දැක්වීම වගකිවයුතු කණ්ඩායම්වල යුතුකමක් යැයිද රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති පෙන්වා දුන්නේය.

lankasara

Newspedia 02

Related post