ඓතිහාසික මන්නාරම යෝධ වැව් බැම්ම අනතුරක!

 ඓතිහාසික මන්නාරම යෝධ වැව් බැම්ම අනතුරක!

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මන්නාරම යෝධ වැවේ මීටර පහක් පමණ දිග පස් බැම්ම ආශ්‍රිතව අඟල් තුන හතර ප්‍රමාණයේ පැළුම් නිර්මාණය වී ඇති බව එම පස් බැම්ම මතින් මේ වන විට වාහන ගමනාගමනයක් සිදුවන බැවින් ඉදිරි කාලයේදීඑය වඩාත් අවදානම් විය හැකි බවපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භවිද්‍යා අංශයේ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි .

මෙරට පැරණි විශාල වැව් ගණනාවක බැමි මේ ආකාරයෙන් අවදානමකට ලක්වී තිබෙන බැවින් ඒවා නිරන්තර පරීක්ෂාවට ලක් කළ යුතු යැයි ද මහාචාර්ය වරයා පවසයි .

මන්නාරම යෝධ වැවේ බැම්ම ස්ථාන කීපයකින් ම ඛාදනයට ලක්ව තිබෙන බව නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වූ බව මහාචාර්යවරයා කීය .

පැරණි ජලාශ පෞරාණික තාක්ෂණයක් මගින් නිර්මාණය කර තිබෙන බවත් ඒවාට වසර දෙදහස් ගණනක ඉතිහාසයක් තිබුනත් දැන් අවදානම් තත්ත්වයක් දක්නට ලැබෙන බව ද ඒ මහතා පැවැසීය .මෙම වැව් වල පස් බැමි නිර්මාණය කොට තිබෙන්නේ නොයෙක් ආකාරයක සම්පීඩිත පස් තට්ටු වලින් බවත් එම බැමි විශාලත්වයෙන් ඉතා වැඩි නිසා අවදානමට ලක් වීමේ වැඩි ඉඩකඩක් තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය .

මින්නේරිය වැව, පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ වැව වැනි වැව් වල දක්නට ලැබෙන්නේද පස් බැම්මක් බවත් කන්තලේ වැව 1985 වසරේදී අවිධිමත් මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් නිසා කඩා ගෙන ගිය ආකාරය කවුරුත් සිහියේ තබා ගත යුතු බවද ඒ මහතා පවසයි .

මන්නාරම යෝධ වැව සම්බන්ධයෙන් තමන් කරන ප්‍රකාශය බැහැර නොකර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ද බලධාරීන්ගෙන් ජේෂ්ඨ මහාචාර්ය වරයා ඉල්ලා සිටී .

‘අද’

Newspedia 01

Related post