ඛණිජ තෙල් සේවා අඩාල කරන අයට ඇමැතිගෙන් අනතුරු ඇඟවීමක්!

 ඛණිජ තෙල් සේවා අඩාල කරන අයට ඇමැතිගෙන් අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් සේවා අඩාල කරන සේවකයින්ට සහ වෘත්තීය සමිති සාමාජිකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අනතුරු අඟවයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මෙම අනතුරු ඇඟවීම නිකුත් කළේ පසුගිය මාස 6 තුළ ඛනිජ තෙල් සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව පෙන්වා දෙමිනි.

කිසියම් සේවකයෙකු හෝ වෘත්තීය සමිතියක් අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි උල්ලංඝණය කරමින් සේවා අඩාල කරන බව අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව වහා නීතිමය හා විනය පියවර ගන්නා බව අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයක නිරත වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ.

මෙම පනතට විරෝධය පළ කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානවල සේවකයින් අද දින අසනීප වාර්තා කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් ප්‍රකාශ කර තිබේ.

ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවලට අනුව සංශෝධන සහිතව ඔක්තෝබර් 04 වැනිදා විදුලිබල හා බලශක්ති පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේදී අනුමත විය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) හැර අනෙකුත් පාර්ශ්ව වෙත ඉන්ධන ආනයනය, සැපයීම සහ බෙදා හැරීම සඳහා පනත් කෙටුම්පත විධිවිධාන සපයා තිබේ.

Newspedia 01

Related post