ඩීසල් මිල සංශෝධනය බස් ගාස්තු අඩු කිරීමකට ප්‍රමාණවත් නෑ!

 ඩීසල් මිල සංශෝධනය බස් ගාස්තු අඩු කිරීමකට ප්‍රමාණවත් නෑ!

ඔටෝ ඩීසල් රුපියල් 15 කින් අඩු කළ ද, බස් ගාස්තු සංශෝධනයක් සඳහා සලකා බැලීමට මෙම මිල අඩු කිරීම ප්‍රමාණවත් නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) පවසයි.

බස් ගාස්තු සංශෝධනයක් සලකා බැලීම සඳහා ඩීසල් ලීටරයක මිල 4% කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු කළ යුතු බව NTC අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, දැනට පවතින ඩීසල් මිලට සමගාමීව බස් ගාස්තු සංශෝධනයක් සඳහා ගණනය කිරීම් සිදු කෙරෙමින් පවතී.

රුපියල් 430 ක් වූ ඩීසල් මිල රුපියල් 15 කින් පමණක් අඩු වූ අතර එය 4% ට වඩා අඩු බැවින් බස් ගාස්තු අඩු කළ නොහැකි බව ගමනාගමන කොමිසමේ සභාපතිවරයාගේ අදහසය.

මේ අතර, අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ (IPPBA) සභාපති සරත් විජිත කුමාර මහතා පැවසුවේ වත්මන් ඩීසල් මිල අඩු කිරීම බස් ගාස්තු සංශෝධනයක් සඳහා උපකාරී නොවන බවයි.

ඩීසල් මිල අඩු වුවද ලිහිසි තෙල්, ටයර්, ටියුබ්, බැටරි, වාහන සේවා ගාස්තු, අමතර කොටස්වල මිල අඩු වී නැත.

දැනට පවතින බස් ගාස්තු තවදුරටත් අඩු කළහොත් තමන්ට එම සේවාව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බව ද ඒ මහතා පැවසීය.

Newspedia 01

Related post