වන්නිල ඇත්තන්ට මරණ තර්ජන! – පොලිස් ආරක්ෂාව දෙයි!

තමන්ට නොයෙක් ආකාරයේ ජීවිත තර්ජන එල්ල වෙමින් පවතින බවට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මහියංගණය පොලිසියට ඊයේ (12) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව වන්නිල ඇත්තන්ට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහිත විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදෙන්නැයි බදුල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී සුජිත් වෙදමුල්ල මහියංගණය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඊයේ (12) උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ.
එමෙන්ම පැමිණිල්ල ගැන පුළුල් විමර්ශනයක් මහියංගණය පොලිසිය විසින් ආරම්භ කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසට දඹාන සංචාරක පොලිස් මුරපොළේ නිලධාරීන්ට ද කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා උපදෙස් ලබාදී ඇති බවත් පොලීසිය පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස දෙකකට අධික කාලයක් රැඳවුම්භාරයේ තබා සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනීසිටීම නිසාවෙන් නිර්ණාමික ලිපි මගින් මෙම තර්ජන එල්ල වන බව වන්නිල ඇත්තන් පවසයි.