ගොඩක් අය රනිල්ව දාලා ගියේ වංචා දූෂණ නඩුහබවලින් බේර නොගත්ත නිසා!

 ගොඩක් අය රනිල්ව දාලා ගියේ වංචා දූෂණ නඩුහබවලින් බේර නොගත්ත නිසා!

බොහෝදෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතා හැර ගියේ වංචා දූෂණ, නඩුහබ ආදියෙන් බේරාගැනීම වෙනුවෙන් රනිල් කිසි විටෙක පෙනී නොසිටීම නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

එලෙස රනිල් වික්‍රමසිංහ හැර ගිය පිරිසේ ඇතැම් අය ජනාධිපතිවරයා දූෂිතයන් වංචාකරුවන් ස්ත්‍රී දූෂකයන් බේරා ගන්නවා යැයි චෝදනා නගමින් සිටින බව කී එජාප සභාපතිවරයා පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ කිසිම අවස්ථාවක අධිකරණයට බලපෑම් කර ඇතැයි ඔප්පු කළහොත් තමා දේශපාලනයෙන් සදහටම සමු ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

අධිකරණය ,ව්‍යවස්ථාදායකය සහ විධායකය යන කුළුණු තුනේ සමබරතාවය රැක ගනිමින් ශිෂ්ඨ සම්පන්න ලෙස රට පාලනය කිරීමට හැකියාව තිබෙන වර්තමානයේ සිටින එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ද එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

ඔහු කිසිවිටෙක ඉතිහාසයේ හෝ වර්තමානයේ මෙම බල තුලනයන් ට හානි වන අයුරින් අයුතු බලපෑම් කර නැතැයි පැවසූ එජාප සභාපතිවරයා අඩු ගණනේ තමා ජීවත් වූ පාරම්පරික නිවසට ගිනි තැබූ අය සෙවීමේ පොලිස් පරීක්ෂණ සඳහාවත් ජනාධිපති බලතල පාවිච්චි කරමින් අයුතු බලපෑම් කර නැති බව සිහිපත් කළේය.

අධිකරණ තීන්දු දේශපාලන බලයට නතු කරගන්නට උත්සාහ කළ යුගයක් ද පැවති බව කී අබේවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ කිසි කලෙක අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමට කටයුතු කරන්නේ නැති බවද අවධාරණය කළේය.

Newspedia 01

Related post