පාස්කු පෙත්සම් 13 ක තීන්දුවට සූදානම්!

 පාස්කු පෙත්සම් 13 ක තීන්දුවට සූදානම්!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නඩු පවරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබා දීම සඳහා දින වෙන් කර තිබේ.

ඒ අනුව මෙම පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී සිය තීන්දුව ප්‍රකාශ කරනු ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීම අවසන් කළේය. සති තුනක් ඇතුළත ලිඛිත දේශන ගොනු කරන ලෙස පාර්ශ්වයන්ට නියම කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව මෙම පෙත්සම්වලට අදාළව කටයුතු කරගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය ප්‍රකාරව කටයුතු කිරීමට අවසර ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2019 ඔක්තෝම්බර් 02 වැනිදා තීරණය කළේය.

ත්‍රස්තවාදී ප්‍රහාරවලට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පෙත්සම්කරුවන් 13ක් ඉල්ලා සිටිති.

මෙම පෙත්සම් මගින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි. ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ලබාදෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය, විනිසුරු මුර්දු ප්‍රනාන්දු, විනිසුරු එස්.තුරෙයිරාජා, විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සමන්විත වේ. ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා, දර්ශන වේරදූවගේ සහ ක්‍රිෂ්මාල් වර්ණසූරිය පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවන මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටියේය. හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටියේය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ ෂම්මිල් පෙරේරා මහතා කොළඹ අගරදගුරුතුමා වෙනුවෙන් පෙනී සිටියේය.

Newspedia 01

Related post