කෙල්ලට ලියුමක් දුන්නා කියා ‘ඇමති ප්‍රසන්නගේ’ පුතා කොල්ලෙකුට ගහලා!

ඇමති පුතෙකු විසින් තම පියාගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් යොදාගනිමින් තරුණයෙකුට පහරදී ඇති සිදුවීමක් අරුණ පුවත්පත වාර්තා කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපකළ සොයාබැලීමකදී විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා වාර්තා වූ කරුණු අනුව අදාළ අමාත්‍යවරයා අප රට තුල මහත් ප්‍රසිද්ධියක් උසුලන පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ප්‍රහාරයට පවා නම් දරා ඇති පසුගිය දින රාජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිකරගත් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයා බව තහවුරු වී තිබේ.
ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාගේ පුතා විසින් තම පෙම්වතියට ලියුමක් දුන් තරුණයෙකුට මෙම පහරදීම සිදුකර තිබේ.
අරුණ වාර්තාකර ඇති පුවත මෙසේයි…
දෙනෝදහක් බලා සිටියදී ඩිෆෙන්ඩර් රථවල ආරක්ෂාව මැද පැමිණි ඇමැති පුතෙක් යැයි කියාගත් තරුණයකු ඇතුළු කණ්ඩායමක් කිරිබත්ගොඩ ප්‍රසිද්ධ උපකාරක පන්තියක් ඉදිරිපිටදී පන්තියට පැමිණි සිසුවකුට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර ඇත.
ගම්වාසීන් පවසන අන්දමට විස්සක පමණ කණ්ඩායමක් එම සිසුවාට ලේ වැගිරෙන තුරු පහරදී තිබේ.
පහරදුන් පිරිසට අමතරව කළු ඇඳුම් ඇඳගත් ප්‍රභූ ආරක්ෂකයන් මෙන් වූ පිරිසක් ඩිෆෙන්ඩර් රථවලින් පැමිණ අසල සිටි බවද ගම්වාසීහු පවසති.
ඇමැති පුතා යැයි කියමින් පෙනී සිටි තරුණයාගේ පෙම්වතියට අදාළ උපකාරක පන්තියේදී පෙම් හසුනක් දුන් වරදට මෙම පහරදීම කර ඇතැයි හෙළි වී තිබේ.
පෙරේදා (26) රාත්‍රි 7.30ට පමණ දරුණු ප්‍රහාරයකට ලක්වෙමින් සිටි තරුණයා ගැන පොලිස් හදිසි ඇමතුම් අංශයට හා කිරිබත්ගොඩ පොලිසියට අවට පිරිස් දුරකතන ඇමතුම් කිහිපයක් දී ඇතත් ‘හදිසිවෙන්න එපා එන්නම්’ කියමින් පොලිසිය දැනුම් දී ඇතැයිද හෙළිවිය.
කිරිබත්ගොඩ පොලිසියේ සිට මීටර් පනහක් පමණ දුරකින් මෙම උපකාරක පන්තිය පිහිටා ඇත.
එම ප්‍රහාරය වාහනවල ගමන් ගත් පිරිස් පවා වාහන නවත්වා බලා සිට ඇතත් කිසිවකුත් එය නැවැත්වීමට උත්සාහ ගෙන නොමැත. ඒ එය වැළැක්වීමට ගිය දෙදෙනකුටත් කලහකාරීන් පහරදීම නිසාය.
අවට පිරිස් දිගින් දිගටම පොලිසියට දුරකතන ඇමතුම් දී පහරකෑමට ලක්වන තරුණයා මැරෙනතුරු නොපැමිණෙන්නේදැයි විමසා ඇත.
මෙම පහරදීම වැළැක්වීමට එහි සිටි අයකු උත්සාහ ගන්නා මොහොතේ ඇමැති පුතාගේ කල්ලියෙන් ගැලවුණු තරුණයා උපකාරක පන්තිය වෙත දිවගොස් ඇත. එහිදීත් ප්‍රහාරකයන් එම පන්තියට කඩා වැදී තරුණයාට පහරදී තිබේ.
පොලිසියේ හත්දෙනකු පමණ අවසන් මොහොතේ පිස්තෝල ඇතැතිව සිවිල් ඇඳුමින් එහි පැමිණෙද්දී ප්‍රහාරකයන් පලා ගොස් සිට ඇත.
ප්‍රහාරය එල්ල කළ පිරිස හුණුපිටිය වත්තල පාර දෙසට ගිය බවත්, එම ප්‍රදේශයේ මාර්ගයේ ඇති තත්ත්වය මත නැවත වාහන හරවාගෙන පැමිණිය හැකි බවත් ගම්වාසීන් පෙන්වා දී තිබේ.
ඒ වන විට ඇමැති පුතා බවට කියමින් පෙනී සිටි තරුණයා පැමිණි ටොයෝටා 141 වර්ගයේ කළු පැහැති මෝටර් රථය පොලිසිය දෙසට යළිත් පැමිණෙද්දී අවට පිරිස් වාහනය පෙන්වා දුන් පසු පොලිසිය එය නවතා එහි සිටි අය පොලිසියට රැගෙන ගොස් ඇත.
මෙම සිදුවීමට අදාළව තුවාල ලද තරුණයකු රෝහල්ගතව සිටින බවත්, ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ඇපමත මුදාහැරිය බවත් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අරුණ කළ විමසුමකදී පැවැසීය.
කැලණිය නියෝජනය කරන ඇමැතිවරයකුගේ පුතෙකු මෙහි සිටි බව හඳුනාගෙන තිබේ. දිගින් දිගටම මෙම උපකාරක පන්තිය අසල ගැටුම් හටගන්නා නිසා මෙම සිද්ධියට අදාළ CCTV දර්ශන සැලකිල්ලට ගෙන මෙවැනි අමානුෂික ගැටුම් වැළැක්වීමට කටයුතු කරන ලෙස ප්‍රදේශවාසීහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ඊයේ (27) සාකච්ඡා කර ඇත.
-අරුණ