75 නිදහසට අපෙන් ගෙන ගිය පොත් ඇතුලත් ප්‍රදර්ශනයක් කරනවා!

 75 නිදහසට අපෙන් ගෙන ගිය පොත් ඇතුලත් ප්‍රදර්ශනයක් කරනවා!

75 වැනි නිදහස් ස්මරණයට සමගාමීව ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට රැගෙන ගිය දුර්ලභ ඓතිහාසික වටිනාකමකින් යුත් පොත්පත් සහ ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (22) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන 23 වැනි කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඔහු ප්‍රකාශ කළේ නිදහස් සමරු පොත් ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ය.

අද පෙරවරුවේ පොත් ප්‍රදර්ශනය වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දිවර මහතා ඇතුළු පිරිස විසිනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පදනමේ සභාපති සමන් අතාවුදහෙට්ටි, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සාමාජිකයින් වන විජිත යාපා, එච්.ඩී. ප්‍රේමසිරි, ආරියදාස වීරමන්, අතුල ජයකොඩි යන මහත්වරු ද එක්ව සිටියහ.

මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයින්ගේ කුටි 400කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වන අතර, පොත් ප්‍රකාශකයින් සහ ලේඛකයින් සමඟ කතාබහක නිරත වෙමින් ජනාධිපතිවරයා එම කුටි වෙත ගොස් ඒවා නිරීක්ෂණය කළේය.

පොත් ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමඟ ද ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත විය.

Newspedia 01

Related post