තවත් විදෙස් රැකියා වංචාවක්. මහජනතාවට උපදෙසක්!

ඩුබායි රටේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් බවට චෝදනා ලබා සිටින විදෙස් රැකියා නියෝජිතායතන හිමිකාරිනියක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්‍යංශයේ නිලධාරීන් විසින් ඔවුනට ලද පැමිණිල්ලකට අනුව මේ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය 2022 සැප්තැම්බර් 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.
විමර්ශණවලින් අනාවරණය වී ඇත්තේ අදාළ ආයතනයේ හිමිකාරිනිය එහි කටයුතු කළමනාකරණය කිරීම සඳහා තවත් පුද්ගලයෙකු පත් කොට ඇති අතර, ඔහු ඩුබායි හි රැකියා ලබාදෙන බවට පොරොන්දු වී මෙසේ මහජනතාවගෙන් මුදල් වංචා කොට ඇති බවය.
ඉහත සැකකරු ඩුබායි රැකියා ලබාදීම සඳහා අයදුම්කරුවන්ගෙන් රු. 450,000 කට අධික මුදලක් ලබාගෙන ඇති බව ද වාර්තා වේ.
කෙසේවෙතත්, සැකකරු පොරොන්දු වූ ආකාරයෙන් ඇඟළුම් කම්හල් සහ සුපිරි වෙළෙඳ සංකීර්ණවල රැකියා ලබා දී නොමැති බවට වින්දිතයන් විසින් පැමිණිලි කොට තිබේ.
මූල්‍ය වංචාව සම්බන්ධ මෙකී ප්‍රධාන සැකකරු කොටුකර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය විසින් විමර්ශණ සිදු කරගෙන යයි.
මෙවන් විදේශ රැකියා නියෝජිතායතන, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශය සමග ලියාපදිංචි වී ඇත්දැයි සහතික කොට ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින කාර්යංශය මුදල් ලබාදීමට පෙර ඔවුන්ගේ නීත්‍යානුකූල වලංගුභාවය ද සොයා බලන ලෙස ඉල්ලා සිටියි.
විදේශ රැකියා සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ක්ෂණික දුරකතන අංක 011-2864241 හෝ 1989 අමතන ලෙස ද ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.