රුසියාව ශ්‍රී ලාංකිකයන් සිර කරගෙන සිටි කතාව ඇත්තක්ද?

 රුසියාව ශ්‍රී ලාංකිකයන් සිර කරගෙන සිටි කතාව ඇත්තක්ද?

යුක්‍රේනයේදී රුසියානු හමුදාව විසින් මාස 6ක කාලයක් සිර කරනු ලැබ සිටි ශ්‍රී ලාංකිකයින් 7 දෙනා වෛද්‍ය සිසුන් නොවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසයි.

ඊයේ (සැප්. 19) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, ඔවුන් නීති විරෝධී ලෙස යුරෝපය කරා සංක්‍රමණය වීමට උත්සහ දැරූ පිරිසක් බවට දැනට ඇති වාර්තා අනුව හඳුනා ගෙන ඇති බව ය.

එසේ ම, ඔවුන් නැවත ලංකාවට පැමිණීමට කැමැත්තක් නොදක්වන බවට ද වාර්තා වී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රුසියානු-යුක්‍රේන යුද්ධය ආරම්භයේදී ම යුක්‍රේනයේ සිටි ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටි සියලු ම ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ය.

නැවත පැමිණීමට අකමැති පිරිස් බලහත්කාරයෙන් ගෙන්වා ගැනීම කළ නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“මේ හත් දෙනා ත් දැනට තියෙන වාර්තාවලින් කියන්නේ, ඒ කට්ටිය එන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. රජයක් හැටියට ඒ කට්ටියව බලෙන් ඉවත් කරගන්න අපිට හැකියාවක් නැහැ. මේ කට්ටිය ශිෂ්‍යයන් නෙවෙයි. දැනට තිබෙන වාර්තාවල තියෙන්නේ මේ කට්ටිය හොර ඒජන්ට් කෙනෙක් හරහා යුරෝපයට සංක්‍රමණය කරන්න උත්සහ දරපු පිරිසක්.”

යුක්‍රේනයේ කාර්කිව්හි මුදා ගත් ප්‍රදේශවල, මාර්තු මාසයේ සිට ආක්‍රමණිකයින් විසින් රඳවා ගනු ලැබ සිටි ශ්‍රී ලාංකික පුරවැසියන් හත් දෙනෙකු බේරා ගත් බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි සැප්. 17 වන දා පැවසීය.

සෙලෙන්ස්කි ජනාධිපතිවරයා සඳහන් කළේ, යුක්‍රේනයේ කුප්යන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ (Kupyansk Medical College) සිසුන් 7 දෙනෙකු එලෙසෙ ගලවා ගත් බව ය.

මේ අතර, එම ශ්‍රී ලාංකිකයින් 7 දෙනා වද හිංසාවලට ලක් කර ඇතැයි යුක්‍රේන මාධ්‍ය අද (සැප්. 19) වාර්තා කළේ ය.

යුක්‍රේන මාධ්‍යවේදිනියක වන මාරියා රොමනෙන්කෝ ට්විටර් පණිවුඩයක් පළ කරමින් අදාළ ශ්‍රී ලාංකිකයින්ගේ ඡායාරූප කිහිපයක් පළ කර ඇත.

ඇය පවසන්නේ, අධ්‍යයන කටයුතු සහ රැකියා සඳහා යුක්‍රේනයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රුසියානු හමුදා විසින් සිර කරනු ලැබ සිටි බව ය.

අදාළ මාධ්‍යවේදිනිය එම ශ්‍රී ලාංකිකයින් හමුවී ඔවුන් සමග සාකච්ඡා කර තිබේ.

ඇය පවසන්නේ, එම ශ්‍රී ලාංකිකයින්ගේ නියපොතු ගලවා, පහර දී වද හිංසාවට ලක්කර ඇති බව ය.

දින දෙකකට පමණ පසු මේ සත්දෙනා යයි දැක්වෙන පිරිසකගේ ඡායාරූප යුක්‍රේන මාධ්‍යවේදිනිය මගින් මුදාහැර තිබුණ නමුත්, ඔවුන් වෛද්‍ය සිසුන් නොව වෙනත් පුද්ගලයන් බව එහි සඳහන්ව තිබේ.

මෙය සත්‍යයක් නම් වෛද්‍ය සිසුන් හත් දෙනකු සොයාගත් බව ජනාධිපති සෙලෙන්ස්කි කළ ප්‍රකාශය අසත්‍ය බව පෙනීයයි.

එමෙන්ම මෙය මාධ්‍යවේදිනියකගේ ප්‍රකාශයක් මිස යුක්‍රේන රජයේ නිල නිවේදනයක් ද නොවේ. දැනට වලංගු නිල නිවේදනය ලෙස ගත හැක්කේ වෛද්‍ය සිසුන් හත්දෙනකු මුදාගත් බවට සෙලෙන්ස්කි කළ ප්‍රකාශයයි.

පෙබරවාරියේ සිට මේ දක්වා මෙසේ අතුරුදහන් වූ සත්දෙනකු ගැන පොලිසියට හෝ තානාපති අංශවලට හෝ කිසිම පැමිණිල්ලක් ලැබී නැතැයි වාර්තාවේ. ඒ අනුව මොවුන් කවුරුන්දැ යි ප්‍රශ්නයක් පැනනඟී.

මෙම සම්බන්ධයෙන් යුක්රේන මාධ්‍ය රුසියානු හමුදාවන්ට චෝදනා එල්ල කරන අතර රුසියානු මාධ්‍ය යුක්රේන ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල කරනු ලබයි. විදේශ කටයුතු අමාත්‍යංශය යුක්රේන රජයෙන් මේ පිළිබඳ විමසීමක් කර ඇතත් තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු දැක්වූ රුසියාවේ වෙසෙන ශ්‍රී ලංකීකයකු පැවසුයේ, මාස ගණනක් යනතුරු කිසිම පැමිණිල්ලක් කිසිවකුගෙන් නොමැති වීම සිතන්නට හැකි දෙයක් නොවන බවයි.

ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

”රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ඉවසීමට නොහැකි පිරිස් කලබලවෙලා ”

” ශ්‍රී ලාංකිකයන් වන අපි සාමාන්‍යයෙන් අපේ ළඟම ඥාතියකු අතුරුදහන් වූයේ නම් නිහඬව බලා ඉන්නා අසංවේදී මිනිසුන් නෙවෙයි. එහෙත්, මේ කියන අය සොයාගන්නට කිසිවකුත් උත්සාහ කළ බවක් මේ වනතුරු වාර්තා වී නැහැ.

මේ කියන අය කාගේ කවුරුන් ද යයි මෙතෙක් නිල වශයෙන් දැනුම්දීමක් ලැබී නැහැ.

සෙලෙන්ස්කිගේ ප්‍රකාශය හැරුණාම ඔවුන් ශ්‍රී ලාංකිකයන් ද යන්න පවා නිල වශයෙන් තහවුරු කර නැහැ.

ඔවුන් යුක්‍රේනය හරහා වෙනත් රටකට නිත්‍යනුකූල නොවන අයුරින් ඇතුල්වීමට උත්සාහ කළ පුද්ගලයන්ද විය හැකියි.

එසේත් නැත්නම් ඔවුන් වෙනමම හේතුවක් නිසා ගැටුම් පවතින ප්‍රදේශයක කොටුවූවේද යයි අප දන්නේ නැහැ.

සාධාරණ හේතුවක් නොමැතිව ඔවුන් රඳවාගන්නට රුසියානුවන්ට කිසිදු අවශ්‍යතාවයක් නැහැ.

සෙලෙන්ස්කි පැවසූ පරිදි ඔවුන් වෛද්‍ය සිසුන් වූවා නම් මෙසේ රඳවාගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ.

නමුත් යුක්‍රේනය හරහා වෙනත් රටවලට නීතිවිරෝධී ලෙස ඇතුල්වීමේ ජාවාරම් කලක තිස්සේ පැවති හෙයින් මේ අයත් එසේ කාගේ හෝ ගැටයකට හසුව නීතිවිරෝධී ගමනක් ගිය අය වෙන්නත් පුළුවන්.

ඒ කොහොම වුණත්, සෙලෙන්ස්කි විසින් මුලින් කළ ප්‍රකාශය අසත්‍යයක් බව පෙනී යනවා.

සෙලෙන්ස්කිගේ ප්‍රකාශයන් පිළිබඳ සැක මතුවූ පළමු වතාව මෙය නොවෙයි. සෙල්ස්න්ස්කි යනු නළුවෙක්. ඔහුගේ අධ්‍යක්ෂවරයා වෙනත් අයෙක්.
සෙලෙන්ස්කිගෙන් පිටවන බොහෝ ප්‍රකාශයන් වෙනත් අයගේ අවශ්‍යතා අනුව සිදුකෙරෙන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ඉවසීමට නොහැකි පිරිස් විවිධ කතා නිර්මාණය කරන්නට, විවිධ බලපෑම් සිදුකරන්නට උත්සාහ කරනවා. දැන් ඔවුන් යොදාගන්නේ සෙලෙන්ස්කිවයි. ඒ තරමට මේ මිත්‍රත්වය ගැන ඇතැමුන් කලබල වී තිබෙන බව පැහැදිලියි.” ඔහු වැඩිදුරටත් පැවසිය.

Newspedia 01

Related post